( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එැබැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛයාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 11 ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (29) පෙරවරු 10.00ට කැඳවනු ලැබේ.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවේ.

ඉකුත් 22 වැනිදා සිට ඊයේ (28) දින දක්වා ගතවූ දින හය තුළ විවිධ දේශපාලනඥයින්, නීතීඥවරුන් ඇතුළු වෘත්තීයවේදීන්, විවිධ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව 39 ක් මෙම පෙත්සම් ගොනු කළ අතර අද අධිකරණය හමුවේ කැදවනුයේ එම පෙත්සම්ය. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ  ඉන්දික ගාල්ලගේ,  සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, ඌව හා මධ්‍යම පළාත් වල හිටපු ආණ්ඩුකාරවරයකු හා  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, සමගි තරුණ බලවේගයේ  සාමාජිකයින් වන ලිහිණි ප්‍රනාන්දු සහ රසික ලක්මාල් ජයකොඩි, මැතිවරණ  කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, සමගි තරුණ බලගවේගයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සිරිලක ජනතා පෙරමුණ වෙනුවනේ නීතීඥ පී.ලියනාරච්චි, නීතීඥවරුන් වන නාමල් රාජපක්ෂ, අචලා සෙනවිරත්න  ඇතුළු නීතීඥවරුන් 20 ක් , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එරික් සේනාධිරත්න බාලසූරිය, ආරිෆ් ෂම්සුදීන් ඉබ්‍රාහිම් ලෙබ්බේ හාජ්ජියාර් යන අය ගොනු කළ පෙත්සම් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

මෙම සියලු පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවය. එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් ,ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම් මඟින්  පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

මෙම  සැප්තැම්බර් මස   22 දින අධිකරණ ඇමතිවරයා  විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.එවැනි  පනත් කෙටුම් පත් අභියෝගයට ලක් කරමින් දින 7ක් තුළ පෙත්සම් ඉදිරිපත් කළ යුතු ය.එම පෙත්සම්  විභාගය අවසන් කර තීන්දු ව දින 21ක් තුළ  ලබා දිය යුතුය. එලෙස පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය අදින්  (29)අවසන් වේ.

ගොනු කර ඇති විශේෂ පෙත්සම් වල සඳහන් කර තිබෙන්නේ රජය විසින් ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුළත් කළ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන වගන්තීන් ඇති බවය.එම පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන බවත් , එමගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය අහිමිවීමක් බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.

පනත් කෙටුම්පතේ 16 වැනි වගන්තිය මඟින් පාර්ලිමේන්තුව මඟින් ප්‍රතික්ෂේප කළ කෙටුම්පතක් ජනාධිපතිවරයාට ජනමත විචාරණයකට යොමු කිරීමට බලය ලැබෙන් අතර , පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය අනුව අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයාට හිමිවන බවද එම පෙත්සම් වල සඳහන් වේ.ඊට අමතරව පනත් කෙටුම්පතේ 25 වැනි වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ පූර්ණ බලයද ජනාධිපතිවරයාට හිමි වන බව එම පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පනත් කෙටුම්පතෙහි 5 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ බලය අහිමි කිරීම , 9 (1) වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෙකුට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම ද සිදුව වන බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

මීට අමතරව පනත් කෙටුම්පතේ 32 , 33 , 34 ,35 , 36 , 37 සහ 38 යන වගන්තීන් මඟින් විගණන සේවා කොමිෂන් සභාව ඉවත් කර ඇති අතර මෙමඟින් මහජනතාවගේ මුදල් පාලනය කිරීමට ඇති බලයට බලපෑම් ඇති වෙන බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මෙම පනත් කෙටුම්පතෙහි 40 වැනි වගන්තිය මඟින් පාර්මේන්තුවේ බලය අඩු කර ඇති අතර එමඟින් ජනතාවගේ පරමාධිපත්‍ය බලපෑම් ඇතිවේ.එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් , ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.