(*** දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ තවුහිද් ජමාද් මුස්ලිම් සංවිධානයේ නායකයා වන සහරාන් නැමැත්තා සිය අරමුණු ඇතුළත් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීමට 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලුම දේශපාලන පක්ෂ සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට උත්සාහ ගෙන ඇති බව අල් අබ්දුල් ජවාද් ආලීම් මලිඋල්ලා භාරයේ ලේකම් මොහොම්මද් සහලාන් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් (16 වැනිදා) ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ඡනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ කාර්යාලයේදී ඊයේ (16 වැනිදා) රැස්විය.

එහිදී අදහස් දැක්වූ අල් අබ්දුල් ජවාද් ආලිම් මලිඋල්ලා භාරයේ ලේකම් මොහොමද් සහලාන් මහතා මෙසේද කීය.

2013 වසරේ සිට කාත්තන්කුඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු ලෙස මා සේවය කරනවා.

කාත්තන්කුඩිය අල් ජාම්රබ්බාහියා අරාබි පාසලේ වසර දහයක් මව්ලවිවරයකු වීමට මා අධ්‍යාපනය ලැබුවා. 2009 වසරේ සිට මලිඋල්ලා භාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටිනවා.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නීතිඥ - ඔබ සේවය කරන භාරය පාර්ලිමේන්තුවෙන් සම්මතව පිහිටුවා තිබෙන ආයතනයක්ද?
සහලාන් මහතා - ඔව්. 2009 වසරේ පාර්ලිමේන්තුවෙන් එය සම්මත කරගැණුනා.

රජයේ  නීතිඥ - ඔබගේ භාරය යටතේ මුස්ලිම් පල්ලි කීයක් තිබේද?
සහලාන් මහතා - කාත්තන්කුඩිවල පල්ලි තුනක් තිබෙනවා.

රජයේ නීතිඥ- මම කැමැතියි දැනගන්න, ඔබගේ භාරයට මුදල් ලැබෙන ආකාරය ගැන?
සහලාන් මහතා - ජනතාව ලබාදෙන අරමුදල්වලින් තමයි අපි යැපෙන්නේ.

රජයේ නීතිඥ - මැදපෙරදිග අරාබි රටවලින් ආධාර ලැබෙන්නේ නැතිද?
සහලාන් මහතා - එලෙස ලැබෙන්නේ නැහැ.

රජයේ නීතිඥ- සුෆි නිකායට අමතරව ලංකාවේ තිබෙන වෙනත් මුස්ලිම් නිකායන් මොනවාද?
සහලාන් මහතා - සුෆි නිකායක් නෙවෙයි. ඉස්ලාම් ආගමේ තිබෙන වාදයක්. මේවගේ වාද කිහිපයක් තිබෙනවා. වහාබ්වාදය, තබ්ලික් ජමාද්වාදය, තහුහිද් ජමාද්වාදය සහ ජමාද් ඉස්ලාම් වැනි වාද කිහිපයක් තිබෙනවා.

කොමිෂන් සභාව - මේ වාදවල ඉන්නේ ඉස්ලාම් ලබ්ධිකයන්ද?
සහලාන් මහතා - ඔව්. මුස්ලිම්වරුන් තමයි සිටින්නේ.

රජයේ නීතිඥ - සුෆිදහම අදහන කොපමණ පිරිසක් ලංකාවේ සිටිනවාද?
සහලාන් මහතා- දස දහසක පමණ පිරිසක් සිටිනවා.

රජයේ නීතිඥ - සුෆිවාදයට අයිති නැති පල්ලි කීයක් විතර ලංකාවේ තිබෙනවාද?
සහලාන් මහතා - හරියටම කියන්න බැහැ. හතළිස්පහත් පනහත් අතර ප්‍රමාණයක පල්ලි තිබෙනවා.

රජයේ නීතිඥ - වහාබ්වාදය අදහන පල්ලි කීයක් විතර තිබෙනවාද?
සහලාන් මහතා - එවැනි පල්ලි දහයක් පහළොවක් අතර ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම වහාබ් දර්ශනය අදහන පහළොස්දහසක පමණ පිරිසක් මෙරට සිටිනවා.

රජයේ නීතිඥ - වහාබ්වාදයට අරමුදල් ලැබෙන්නේ කොහොමද?
සහලාන් මහතා - පිටරටවලින් ලැබෙනවා. ඊට අමතරව මුදල් පරිත්‍යාගය කරන මෙරට මුස්ලිම්වරුන් සිටිනවා.

රජයේ නීතිඥ - වහාබ්වාදය ඉගැන්වීමට වෙනත් රටවලින් ආගමික නායකයන් මෙරටට පැමිණ තිබෙනවාද?
සහලාන් මහතා - ජේ. ජේසුලාබ්දීන් නැමැති මව්ලවීවරයෙක් ඉන්දියාවේ සිට පැමිණ මෙරට තුළ ඉගැන්වීම් කළා. ඔහු කාත්තන්කුඩියේ සහ කොළඹ නැවතී ඉගැන්වීම් සිදුකර තිබෙනවා.

රජයේ නීතිඥ - ජේනුලාබ්දීන් ඉන්දියාවේ තවුහිද් ජමාද්වල නායකයාද?
සහලාන් මහතා - ඔහු තමිල්නාඩුවේ තවුහිද් ජමාද්හි නායකයා බව මා අසා සිටිනවා.

රජයේ නීතිඥ - ජේනුලාබ්දීන් මෙරට තුළ උගැන්වූයේ මොනවාද?
සහලාන් මහතා - වහබ්වාදය ගැන ඔහු ඉගැන්වීම් කළා. සුෆි මුස්ලිම්වරුන්ගේ වන්දනා ක්‍රමවලට විරුද්ධව ඔහු කතා කරනවා. මා ස්පීකරයකින් ඇහුණ සද්දයකින් දැනගත්තා. ඒවගේම වීලාදුනබ් උත්සවය පැවැත්වීම ගැනද ඔහු කතා කළා.

රජයේ නීතිඥ - විලාදුනබි උත්සවය කියන්නේ කුමක්ද?
සහලාන් මහතා - මොහොම්මද් නබිතුමාගේ උපන් දිනය සැමරීමයි එලෙස හඳුන්වන්නේ.

රජයේ නීතිඥ- සුෆිවාදය නියෝජනය කරන ඔබලා එම උත්සවය සමරනවාද?
සහලාන් මහතා - වසර 25කට පෙර සියලු මුස්ලිම්වරු මෙම දිනය සැමරුවා. දැන් එය සමරන්නේ විලාද් මුස්ලිම්වරුන් පමණයි.

රජයේ නීතිඥ - ලංකාවට පැමිණි කලින්කී මුස්ලිම් නායකයා ජිහාඩ්වාදය හෝ මෙරට තුළ වෙනමම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීම ගැන කතා කළාද?
සහලාන් මහතා - නැහැ

රජයේ නීතිඥ - එම මුස්ලිම් නායකයාව ලංකාවට ගෙන්වීමට මෙරට කවර හෝ දේශපාලනඥයකු මැදිහත් වුණාද?
සහලාන් මහතා - එහෙම දෙයක් ගැන මා දන්නේ නැහැ.

රජයේ නීතිඥ - ජේනුලාබ්දීන් කොළඹට ආපු කාල වකවානුව මතකද?
සහලාන් මහතා - 2005 වසරට පසු වකවානුවක තමයි ඔහු පැමිණියේ.

රජයේ නීතිඥ -  යුද්ධය පැවති කාලයේද ඔහු ආවේ?
සහලාන් මහතා - යුද්ධය පැවති කාලයේ තමයි ඔහු පැමිණියේ.

රජයේ නීතිඥ -  මොහොමඩ් සහරාන් නැමැත්තා සුෆීද වහාබ්ද?
සහලාන් මහතා - ඔහු වහබ්වාදියෙක්.

රජයේ නීතිඥ - ඔබට ඔහු මුණගැසී තිබෙනවාද? නැතිනම් ඔබ ඔහු හඳුනනවාද?
සහලාන් මහතා - පාරෙදි මුණගැසී තිබෙනවා. තවත් අවස්ථාවකදී පොලිසියේදී මුණගැසී තිබෙනවා.

රජයේ නීතිඥ – සහරාන්ගේ පසුබිම ගැන ඔබ සොයා බැලුවාද?
සහලාන් මහතා - ඔහු කාත්තන්කුඩිවල කරපු අන්තවාදී වැඩගැන මා දන්නවා.

රජයේ නීතිඥ – සහරාන් ඉගැනුම ලැබුවේ කුමන පාසලේද?
සහලාන් මහතා - කාත්තන්කුඩි ජමයතුල්ලා අරාබි පාසලෙන් 2001 වසරේදී සහරාන් ඉස්ලාම් ධර්මය ඉගෙනගත්තා.

රජයේ නීතිඥ – ඒ පාසල සුෆී ද වහාබ්ද?
සහලාන් මහතා - පාසල ආරම්භ කළ වකවානුවේ සුෆි දහම තමයි තිබුණේ. පසුව වහබ් දර්ශනය උගන්වන්න පටන්ගත්තා.

රජයේ නීතිඥ – මුලදී සුෆි දහම ඉගැන්නුව සහරාන් ඉගෙනගත් පාසල පසුව වහාබ් වුණේ ඇයි?
සහලාන් මහතා - වහාබ්වාදය අනුගමනය කරන පිරිස වැඩිවුණා. ඔවුන්ට ඇති බිය නිසා ඒ පාසල සුෆිවාදය වෙනුවට වහබ්වාදය උගන්වන්න පටන්ගත්තා.

රජයේ නීතිඥ – සහරාන්ට ඉගෙනගත්ත පාසල වෙනස් කරන්න වුණා නේද?
සහලාන් මහතා - 2005 වසරේ සහරාන් කුරුණෑගල මුස්ලිම් පාසලකට ඇතුළත් කළා.

රජයේ නීතිඥ – ඇයි සහරාන් මුල් පාසලෙන් ඉවත් කළේ?
සහලාන් මහතා - සහරාන් දැඩි වහාබ්වාදියකු වූ නිසා තමයි ඒ පාසලෙන් ඉවත් කළේ.

රජයේ නීතිඥ – නවුෆර් මවුලවී කියන්නේ කවුද?
සහලාන් මහතා - ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙක්. මේ වනවිට ඔහු අත්අඩංගුවේ පසුවන බව මට දැනගැනීමට ලැබුණා.

රජයේ නීතිඥ – නවුෆර් සහ සහරාන් අතර ඉතා කිට්ටු ඇසුරක් තිබුණාද?
සහලාන් මහතා - කාත්තන්කුඩියෙදි ඔවුන් දෙදෙනා ඉගැනුම ලැබුවේ එකටයි.

රජයේ නීතිඥ – කුරුණෑගල පාසලේ අධ්‍යාපන කටයුතු අවසන් කර සහරාන් මවුලවි කෙනෙක්වෙලාද නැවත කාත්තන්කුඩි ආවේ?
සහලාන් මහතා - ඔව්. 2007 වසරේදී හෝ 2008 වසරේදී තමයි සහරාන් නැවත කාත්තන්කුඩි ආවේ.

රජයේ නීතිඥ – සහරාන් කාත්තන්කුඩිවලින් පැමිණ කුමක්ද කළේ?
සහලාන් මහතා - ඉස්ලාමික් සෙන්ටර් නමින් වහාබ්වාදය උගන්වන ආයතනයක සහරාන් කාත්තන්කුඩි පැමිණ වැඩ කළා.

රජයේ නීතිඥ – ඉස්ලාමික් සෙන්ටර් එකේ හිමිකරු කවුද?
සහලාන් මහතා - ජී.එල්.එම්. අෂ්රෆ් නැමැත්තෙක් 2003 වසරේ ඒ සංවිධානය ආරම්භ කර තිබෙනවා.

රජයේ නීතිඥ – සහරාන් එම ආයතනයේ කුමක්ද කළේ?
සහලාන් මහතා - ඉස්ලාම් සෙන්ටර් එකට අනුබද්ධිත පල්ලිවල සහරාන් වහාබ්වාදය ගැන දේශන පැවැත්වූවා.

රජයේ නීතිඥ – පසුකාලීනව සහරාන් ඒ ආයතනයෙන් ඉවත් වුණාද?
සහලාන් මහතා - 2008 වසරේ මුල් වකවානුවේ ඔහු ඒ ආයතනයෙන් ඉවත් වුණා. ඉන් ඉවත්වූ ඔහු දාදුර් අද්දවියා නමින් වහාබ්වාදය ප්‍රචාරය කරන ආයතනයක් ආරම්භ කළා. මිතුරන් සමග එකතු වී ඔහු එම සංවිධානය ගොඩනැගුවා.

රජයේ නීතිඥ - සහරාන්ගේ මිතුරන් කවුද?
සහලාන් මහතා - අශ්රම් මව්ලවී කියා කෙනෙක් හිටියා වගේ මතකයි.

රජයේ නීතිඥ - සහරාන්ගේ දේශනවල ජිහාද්වාදය හා ඉස්ලාමීය රාජ්‍යක් ගැන සඳහන්වී තිබුණා ද?
සහලාන් මහතා - මුල් කාලයේදී ඔහු එහෙම කළේ නැහැ. 2010 වසරේ සිට තමයි සහරාන් එවැනි කරුණු ඇතුළත් දේශන පවත්වන්න ගත්තේ.

රජයේ නීතිඥ -  සහරාන් ඉස්ලාමික් සෙන්ටර් එකෙන් ඉවත් වුණාද?
සහලාන් මහතා -  ඔව්. ආයතනය සමග ඇතිවූ මතවාද ගැටුමක් මත සහරාන් ඇතුළු පිරිසක් ඉන් ඉවත්වී තවුහිද් ජමාද් සංවිධානය පටන් ගත්තා.

රජයේ නීතිඥ - ඒ වනවිට සහරාන් විදේශ රටවල ගොස් තිබුණාද?
සහලාන් මහතා - 2009 වසරේදී ඔහු ජපානයට ගිය බව දැනගැනීමට ලැබුණා.

රජයේ නීතිඥ - ජපන් යන්න හේතුව කුමක්ද?
සහලාන් මහතා - ඒ ගැන මම නිශ්චිතව දන්නේ නැහැ.

රජයේ නීතිඥ - තව්හිද් ජමාද් සංවිධානය හදන්න සහරාන්ට එකතු වුණේ කවුද?
සහලාන් මහතා - ඔහුගේ මිතුරන් එම සංවිධානයට එකතුවී තිබුණා. ඊට අමතරව සහරාන්ගේ සහෝදරයකු ද ඊට සම්බන්ධවී තිබුණා.

රජයේ නීතීඥ - තවුහිද් ජමාද් සංවිධානය හදන්න දේශපාලන සංවිධානයක් හෝ දේශපාලනඥයකු සහරාන්ට උදව් කළාද?
සහලාන් මහතා - එය මා දන්නේ නෑ. එම සංවිධානයේ නායකයා වුණේ සහරාන්. ඔහු අපේ සංවිධානයට බලපෑම් කරන්න ගත්තා. ඔවුන්ගේ මතවාදයන් අපට ගන්න කීවා. අපි ඊට විරුද්ධවෙලා සුෆි දර්ශනය රැකගන්න සටන් කළා. පොලිසියේ පැමිණිලි දැම්මා. තවුහිද් නමින් සඟරාවක් සහරාන්ලා ආරම්භ කළා.

ඒ මගින් අලවි මව්ලානා මහතාද විවේචනය කර තිබුණා. නැගෙනහිර ආයුධ සන්නද්ධ මුස්ලිම් සංවිධානයක් තිබෙන බව මවුලානා මහතා සහරාන්ලාට චෝදනා කර තිබුණා. ඒ ප්‍රකාශය විවේචනය කර තමයි සහරාන්ලා සඟරාවට ලිපි ලීවේ. ඔය අතරතුර සහරාන්ලාට 2015 වසර වනවිට අනුගාමිකයන් දහසක් පමණ සිටියා.

රජයේ නීතිඥ -  2015 ජනාධිපතිවරණයේදී සහරාන්ල කුමන පාර්ශවයට ද උදව් කළේ.
සහලාන් මහතා - හංසයා ලකුණින් තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහරාන්ලා උදව් කළා.

රජයේ නීතිඥ - එම වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සහරාන් කුමන දේශපාලන පක්‍ෂයට ද සහය දැක්වූයේ.
සහලාන් මහතා - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහය දැක්වූවා. හිස්බුල්ලා මහතා සහ තවත් දේශපාලනඥයන් සමග සහරාන් ගිවිසුම් ඇතිකරගෙන තිබුණා.

අනික් දේශපාලන පක්‍ෂ සියල්ල සමඟ එකඟතා ඇතිකර ගන්න උත්සාහයක් සහරාන් දැරුවා.

ඔහු ඒ පක්‍ෂ සමඟ එකඟතා ඇතිකර ගත්තා.

එත් ඉන් කාට සහය දැක්වූවාද කියා මා දන්නේ නැහැ.

මේ අවස්ථාවේදී සහරාන් සහ හිස්බුල්ලා මහතා අතර ඇතිකරගත් දේශපාලන ගිවිසුමක පිටපතක් විනිසුරු මඩුල්ලේ අවධානයට ලක්කරමින් විනිසුරු මඩුල්ල වෙත නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.