(ටී.කේ.කපිල)

 

සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එක් අයෙකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනට යොමු කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය .

 

මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන  මධ්‍යස්ථානයේ උපදේශකවරයකු වශයෙන් සේවය කරන 34 හැවිරිදි සීදූව කොටුගොඩ පදිංචිකරුවෙකි .

 

පසුගියදා එම මධ්‍යස්ථානයේ සිට තම ගම් ප්‍රදේශයට පැමිණ ඇති මෙම පුද්ගලයා , ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමඟ එල්ලේ ක්‍රීඩාවේ ද නිරතව සිට තිබේ.

 

ඔහුට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා පුහුණු වීම් කටයුතු සහ එහි පරීක්ෂණ කටයුතු සඳහා තවත් පිරිසක් සමග එකම වාහනයක ද ගමන් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

 

 

ඒ අනුව මේ වනවිට 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර , තවත් මෙම පුද්ගලයා සමග ලගින් ඇසුරු කළ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ .

 

කොරෝනා ආසාදිත මෙම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වෛද්‍ය ප්‍රතිකාර සදහා රැගෙන ගොස් තිබේ .මීට අමතරව කටාන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ද 14 දෙනෙකු පමණ ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය .

 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නීරෝධායනය වෙමින් සිටින මත්ද්‍රව්‍ය ලෝලීන් බැලීමට ගොස් ඇති තිදෙනකු සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයන් 11 දෙනෙකු මෙසේ ස්වයං නීරෝධායනයට යොමු කර සිටින බවට වාර්තා වේ .

 

ඒත් සමගම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ද තවත් 30 දෙනෙකු පමණ ස්වයං නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය .