(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා හඳුන්වා දුන් "බජට් ප්‍රපෝසල් හබ්" වේදිකාව දෙවන වරටත් දැන් ක්‍රියාත්මක බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

"බජට් ප්‍රපෝසල් හබ්" වේදිකාව මගින් ජනතාවට මෙවර අයවැයටද පහසුවෙන් යෝජනා ඉදිරිපත් කළ හැකි බව එම ආයතනය පැවැසුවේය. අයවැය සඳහා ජනතාව ඉදිරිපත් කරන යෝජනා රජයේ අවධානයට යොමු කිරීම මෙම වේදිකාවේ අරමුණ බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පසුගිය අයවැයේදීද "බජට් ප්‍රපෝසල් හබ්" වේදිකාව ක්‍රියාත්මක වූ බවත් එහිදී ලංකා කුරුඳු යොදාගනිමින් ඖෂධීය සංරචක නිෂ්පාදනය කිරීමේ ජාතික මට්ටමේ වැඩසටහනක් ස්ථාපිත කිරීමේ සිට සෑම බස් නැවතුම්පොළකම වැසිකිළි ඉදිකිරීම දක්වා වූ විවිධ පරාසයන්ගෙන් යුත් යෝජනා රැසක් එහිදී ඉදිරිපත් වූ බව එම ආයතනය පැවැසුවේය.

අයවැය සම්බන්ධයෙන් 2025 වසරේදී සිදුකළ සමීක්ෂණයට අනුව අයවැය සඳහා මහජන සහභාගීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 100 න් 9 ක් පමණක් බවත් එය ලොව පහළම මට්ටමේ කාර්යසාධනයන්ගෙන් එකක් වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. රාජ්‍ය මුදල් උපයන සහ වියදම් කරන ආකාරය හා ඒ සඳහා ජනතාවගේ සහභාගීත්වය සහ දැනුවත්භාවය අතර ඇති පරතරය මින් පිළිබිඹු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.