( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ වන විට රෝගාබාධ කිහිපයකින්ම පෙලෙන බවත් , මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය දැඩි සෞඛ්‍ය අනතුරකට ලක්ව ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එසේම යම් කිසි පුද්ගයෙකු සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කිරීම දඩුවම්ක් ලෙස පත් නොකළ යුතු බැවින් තම සේවාදායක ශානි අබේසේකර මහතා ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම තවදුරටත් කල් නොඇර සලකා බලන්නැයිද නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තමා ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අතර එහිදී නීතීඥ විරාන් කොරයා මහතා මෙම දැනුම් සිදු කළේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන අප්‍රේල් 29 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර මහතා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.