(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලැස්ස, වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් බව කියා ගත් පිරිසක් දරු පවුලක් මහ මඟට ඇද දමා ඔවුන් පදිංචිව සිටි ඉඩම් කට්ටියේ වගාකර තිබූ භවබෝග රාශියක් විනාශ කර දැමීමේ පුවතක් අගුණකොළපෑලැස්ස යකාගලින් වාර්තා වෙයි.

අගුණකොළපෑලැස්ස වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ඉකුත් 8 වැනිදා තමන් පදිංචිව සිටි ඉඩමට පැමිණ නිවස තුළ සිටි අය නිවසින් පිටතට කැඳවා නිවස සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමූ බව නිවැසියෝ පවසති.

ඒ අතරතුර දී තමන් පදිංචිව සිටි ඉඩමේ වගාකර තිබූ කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් සමඟ පොල්පැළ 12 ක් ද කපා  බිම දැමූ බවද ඔවුහු කියති.

සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ සිටි පියුමි නිසංසලා නම් දෙදරු මව මේ සම්බන්ධයෙන් මෙසේ පැවසූවාය.

‘තමන් නිවසේ සිටින අතරතුර නිවසට පැමිණි වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිලධාරීන් දරු දෙදෙනා සමඟ නිවසින් ඉවත්වන ලෙස තමන්ට බල කර තමන් පදිංචිව සිටි නිවස කඩා බිඳ දැම්මා. තමන්ගේ වයස අවරුදු 4ක් වූ වැඩිමහල් දරුවා හඬා වැටෙද්දී එම නිළධාරීන් නිවස විනාශ කළා. ඉඩමේ තිබූ කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් රාශියක් ද කපා දැම්මා. තම සැමියා එදිනෙදා කුලී වැඩ කරමින් පවුල නඩත්තු කරන්නේ. ඒ අවස්ථාවේ සැමියා කුලී වැඩ සඳහා නිවසින් බැහැරව සිටියා.’

තමන් පදිංචිව සිටින ඉඩමේ අයිතිය පිළිබඳ නඩු විභාගයක් අගුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වී තීන්දුවක් දී තිබූ බවත් එම තීන්දුවෙන් පිස්කල් නිළධාරියා මගින් තමන් ඉවත් කරන ලෙසට නියෝග කර තිබූ බවද ඇය වැඩිදුරටත්  පැවසුවාය.

තම දරු පවුල ඉවත් කරනවා වෙනුවට තමන් පදිංචි සිටි නිවස මහ පොළවට සමතලා කරන්නටත් භවබෝග විනාශ කරන්නටත් ඔවුන්ට බලය දුන්නේ කවුරුදැයි ඇය ප්‍රශ්න කරන්නීය.මේ  සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඇය වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇඹිලිපිටිය මහවැලි නේවාසික කළමනාකරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.