(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාරවල අධික තදබදය මෙන්ම  මත්ද්‍රව්‍ය ලෝලීන්  සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකට රඳවා තැබීමද බන්ධනාගාරවල  අර්බුද උත්සන්න වීමට  ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය

බන්ධනාගාරවල ගැටුම් සහ  අරගල  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  බන්ධනාගාර ප්‍රධානීන් පොලිස්පතිවරයා  ඇතුළු වගකිවයුතු ආයතනවල නිලධාරින් ලබන 18 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවන බවද පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාරයේ ප්‍රධානීන් මීට ඉහත අවස්ථාවකද කැඳවා බන්ධනාගාරවල ගැටලු සම්බන්ධ  සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙසේ කැඳවෙන  පිරිසට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ     මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීහුද ඇතුළත් වෙති.

බන්ධනාගාරවල ගැටුම් වළක්වා ගැනීම සඳහා ගත හැකි කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සමඟ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව හෙතෙම  සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාරවල ගැටලු විසඳීම සඳහා යම් යම් නීති ප්‍රතිසංස්කරණ වලටද යෑමට  සිදුවිය හැකි බව නිමල් ජී පුංචි හේවා මහතා පැවසීය.