(අංජුල මහික වීරරත්න මාලදිවයිනේ සිට)
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් අද (03) දින ප්‍රකාශ කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව ද පැවසීය.
19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණු බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අතර එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් ඉතා උණුසුම් ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.
අනතුරුව මාලදිවයින් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කැඳවා ගෙන එනු ලැබූ අතර එරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට සම මට්ටමේ අසුනක් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පනවා තිබුණි.
පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට කථානායකවරයා විසින් මාලදිවයින් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්‍රන්ථයක් ද වික්‍රමසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය.
මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේම විධායක බලතල පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලනය සහ ආණ්ඩුවට මඟපෙන්වීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයා ද ඇතුළත් වන කැබිනට් මණ්ඩලයට බවයි.
පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට කැබිනට් මණ්ඩලය බැඳී සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වන බව ද පැවසීය.
ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එසේ වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ බව ද සිහිපත් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට ස්තුතිය පළ කරමින් එරට කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. එසේම ශ්‍රී ලංකාව කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සහ මහජන ඡන්දයෙන් මිස වෙන කිසිඳු අයුරකින් රටේ බලය හුවමාරු කර ගෙන නොමැති බව ද පැවසීය.
(ඡායාරූප:- ප්‍රදීප් පතිරණ)




COMMENTS
ඔව් ඔව්. කැපවෙන්ට එපෑයැ... 19 ගෙනැල්ලා රටම අස්ථාවර කළා. තවත් වෙට්ටුවක් දාලා කවුරු හරි ජනාධිපති කරලා තමන් අගමැති වෙලා රටට පාන්ශුකූලේ දෙන්න වෙන්න ඇති අර අඳින්නේ..
එහෙම කරන්න ජනාධිපති වෙන්න ඒපායැ. ඒ කියන්නේ තරඟයට ඉදිරිපත්වෙන්නයි අදහස. එතකොට දැන් හුදකලාවම රේස් එකේ භාගයක්ම දුවලා ඉන්න කෙනාගේ තත්වය මොකද්ද?
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව එහේ කියලා හරියනවද? එ්ක වලංගුද? එළැඹෙන ජනාධිපතිවරණයට පෙර, පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරමින්, අහෝසි කරන්නකෝ...
හැමෝගෙම බේගල් තැටිය මෙයත් වයනවා...!!!
රනිල් මහත්තයෝ, ඔන්න ඔයාගේ තැටිය එක තැන කරකැවෙනවා...
දැන් කාලාන්තරයක් තිස්සේ ඔය මන්තරේ ජප කරකර ඉන්නවා නේද? නිකම් බොරු ප්‍රචාර දොඩවන්නේ නැතිව ඉන්න.
ඒ ඉතින් ලැබුණොත්නේ...
මට බැරි නිසා අහෝසි කරනවා..
මුළු රටම විනාශකලා... ඒ මදිවට ලෝකෙවටේ ගිහින් පුරාජේරු ගහනවා. අද වන විට බොහෝ පුද්ගලික ආයතන ඉතා අමාරුවෙන් ව්‍යාපාර කරගෙන යන්නේ. මිනිසුන්ට දිනෙන් දින ඉහලයන වියදම් දරාගන්න අමාරුයි. එහෙන් බදු වැඩි කරලා. කිසිම අරපරිස්සමක් නෑ.....සොබනේ විතරයි. චන්දගන්න පහත් විදියට රටේ මුදල් නස්තිකරනවා. පුදුම කරුමයක් මේක.. කයියනම් ගහනවා. වැඩ නෑ.
ලැජ්ජ නැද්ද තමන්ගේ රටේ දේවල් අනුන්නගෙ රටකට ගිහින් කියන්න....අඩුම ගනනෙ අපේ රටේ නායකයින්ට ඒ් ඒ් රට වලට ගිහින් කිවයුත්තෙ මොකක්ද....? නොකිවයුත්තෙ මොකක්ද.....? කියලවත් තේරෙන්නෙ නැද්ද....බලන්න වෙන රටක නායකයො තවත් රටකට ගියහම තම රටේ අඩුපාඩු ඒ රටේ තැන් තැන්වල කිය කියා අැවිදිනවද කියල....
නරියත් මිදි තිත්තයි කිව්වලු...
ලංකාවේ අභ්‍යන්තර දේවල් මොන කෙහෙල් මලකටද පිටරටවල පාර්ලිමේන්තුවල කියන්නේ? හරියට මළගෙදරක කතාවකට තමන්ගේ මගුල් ගෙදර ප්ලෑන් එක ගැන කතා කරනවා වගේ. දැන් නම් හොඳටම පිස්සු තද වෙලා වගේ.
විධායක ජනාධිපති ධුරය ලංකාවට සුදුසු දෙයක්. මොකද දැන් පාර්ලිමේන්තුව කවලම් වෙලා තියෙන්නේ...
අගමැතිතුමෝ මොනවා අහෝසි කළත්, සමනලයින්ට කඩේ යන්න තරම් රටේ ජනතාව දැන් ඉතින් මෝඩයෝ නෙමෙයි. සිංහලයින්ගේ රට නැත්තටම නැතිකරලා දැන් එනවා පම්පෝරි ගහන්න. අපිට නම් අවශ්‍ය තමුන්නාන්සේලාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා රටිනුත් පිටුවහල් කරන්න.
නැතිව නැතිව ජනාධිපති බලතල අඩුකරලා අගමැති බලතල වැඩි කරලා රට ඉතිරි ටිකත් කන්න තමයි කල්පනාව.
මදැයි අගමැති, ජනාධිපති රට දියුණු කළා. දැන් ඉතින් ජනාධිපති අයින් කරමු. ඔයටත් වඩා දියුණු කළොත් ලෝකෙම බයවෙයි. නේද අගමැතිතුමා..!!!
කෙසේවෙතත් ජනාධිපතිකම අපතේ යනවා. මේ වියදම් දරන්න බැහැ.