( තිළිණි ද සිල්වා )

විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ  පහසුකම මේ මාසය සදහා අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  කියයි.

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පසුගිය දින කිහිපයේදී පවතින අධික ඉල්ලුම නිසා මේ මාසය දක්වා වන වෙන් කර ගැනීම් සම්පූර්ණ කර ඇති බවත් , මහජනතාවට  මීළඟ දින ලබා දීමේ හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

අගාමන විගමන දෙපාර්තමේන්තුවේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම යටතේ පසුගිය දින වලදී  දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරුණු බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගියදා සදුදා (18 ) මෙම  එක් දින සහ සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම්පත් 4700ක ප්‍රමාණයක් භාර ගැනීමට සිදුව ඇති අතර අසීමිත ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවණතාවය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවකට පත්ව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ලබන නොවැම්බර් මාසයේ  සිට මෙම තදබදය පහව යනු ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.