(බන්ධුල ඉලේපෙරුම)

 

විරුද්ධ මතවාදීන්ගේ හිත් නොරිදා මතයක් ජනගත කිරීමේ සුවිශේෂී හැකියාවක් වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සතුව තිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

අගමැතිවරයා මේ බව පැවසුවේ අභාවප්‍රාප්ත වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදීය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.


“1977 හපුතලේ ආසනය ජය ගනිමින් එජාපයෙන් දේශපාලනයට පිවිසෙන වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා, දේශපාලනඥයකු ලෙසත් සිය දේශීය ලැදියාව අත් නොහැරි විශිෂ්ටයෙක්. අමාත්‍යධුර තනතුරු වරදාන ලැබෙන විට කතානායකතුමනි ඇතැමෙක් වෙනස් වෙනවා. එහෙත් වි.ජ.මු එහෙම වුණේ නැහැ. වාද විවාදවල යෙදෙද්දී පවා තමන්ගේ භාෂා සාහිත්‍ය දැනුම දේශපාලන වේදිකාවට ගෙන එන්න එතුමා සමත් වුණා. විරුද්ධ මතවාදීන්ගේ හිත් නොරිදා මතයක් ජනගත කිරීමේ සුවිශේෂී හැකියාවක් වි.ජ.මු ට තිබුණා. මේ නිසා ජනතාව ඉදිරියේ එතුමා දක්ෂ දේශකයෙක් විදියටත් ඇගැයීමට ලක්වුණා.

ආණ්ඩුවේ දේශීය වෛද්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ප්‍රවෘත්ති වගේ ක්ෂේත්‍රයන් එදා භාර වුණේ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාට. එතුමා ඒ සෑම අමාත්‍යාංශයකින්ම මතක තියෙන දෙයක් රටට දායාද කරන්න සමත් වුණා. මට මතකයි සිංහල හින්දු අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ චාරිත්‍රයට රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ චාරිත්‍රය ජනගත කරන්න එතුමා විශාල කාර්යභාරයක් කළා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ කොළ කැඳ වීදුරුවෙන් පටන්ගෙන ඔසුපැන් ජනතාව අතරට ගෙන යන්න ආරම්භය තැබුවේ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමායි. ඒ විතරක් නෙමෙයි දුරකථන ඇමතුමට ආයුබෝවන් කියලා ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ එතුමාගේ මැදිහත්වීමෙන්.

මට මතකයි අපි ඇතැම් වෙලාවට වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාගෙන් ඇතැම් වචනවල අර්ථය විමසනවා. ඒ වෙලාවට වචනවල අර්ථය විතරක් නෙමෙයි ඊට අදාළ පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි වචනය පවා කියලා දෙන්න වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා සතුව විශාල දැනුමක් තිබුණා. අලුත් පරම්පරාවට දේශීය සංස්කෘතිය ලබාදෙනවා පමණක් නෙමෙයි ඔවුන් ලවා දේශීයත්වය ආරක්ෂා කරගත යුතු යැයි එතුමා කල්පනා කළා. ඒ නිසාම තමන්ට අමාත්‍යාංශ වගකීම පැවරුණු අවස්ථාවල ත්‍රිපිටක ධර්මය සිංහලට පරිවර්තනය කර නැවත මුද්‍රණය කරන්නත්, වීර චරිත පිළිබඳ . ‘පූජිත ජීවිත’ ග්‍රන්ථය හඳුන්වා දෙන්නත්, සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවි පොත සහ සකස්කඩය වැනි ග්‍රන්ථ නැවත මුද්‍රණය කිරීමටත් වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මූලිකත්වය ගත්තා.”