පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තබා තිබේ.
දෙරටෙහි රාජ්‍ය නායකයින්ගේ හමුව එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබිණි.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමට මුලින්ම අත්සන් තැබුණු අතර , පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ඩෙල්ෆින් එන්. ලොරෙන්සානා මහතා ඊට අත්සන් තැබුවේය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ගිවිසුමට අත්සන් තැබුවේ ය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
ඊට පිලිපීන රජය වෙනුවෙන් පිලිපීන සංචාරක දෙපාර්තමේන්තුවේ ලේකම් බර්නඩෙත් රොමුසුලෝ පියෙට් මහතා අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තැබුවේ ය.
දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.
ඊට ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තැබූ අතර, පිලිපීන රජය වෙනුවෙන් එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් වෝල්ඩෝ කාප්රෝ මහතා අත්සන් තැබීය.
කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2 008 වසරේ දී පිලපීනයේ කළ සංචාරයේ දී එවකට පිලිපීනයේ කෘෂිකර්ම ලේකම්වරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අද ජනාධිපතිවරයා ලෙස එතුමා ඉදිරියේ දී මෙම ගිවිසුමට එළැඹීම විශේෂත්වයකි.
ඉන් අනතුරුව අත්සන් තැබුණේ දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට යි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය ඊට අත්සන් තැබූ අතර පිලිපීන රජය වෙනුවෙන් එරට උසස් අධ්‍යාපන කොමිසමේ මහාචාර්ය ඩී.වේරා මහතා අත්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.
ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන්ට පශ්චාත් උපාධි පාඨාමාලා සඳහා අවස්ථාව උදාකර දීම එහි අරමුණයි.
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා මහත්මිය හා ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ප්‍රනෑන්ඩෝ සී සැන්චේස් මහතා විසින් ඊට අත්සන් තබන ලදී.
(36698)



COMMENTS
අනිත් ඒවා කෙසේ වෙතත්, රටට හානිකරම වන්නේ කෘෂිකර්ම සහයෝගිතා ගිවිසුමයි.
ඔන්න පස්සේ කියන්න එපා මම දැක්කෙත් පත්තරෙන් කියලා... හොඳට කියවලා බලලා අත්සන් කරන්න.
කෝ ගිය ඉතිරි ඇයොන්ගේ පින්තුර ? මේ ඇයො මොටද ගියේ අපේ සල්ලි වලින් ?
කුඩු ජාවාරම් කාරින්ට මරණ දඩුවම දෙන්නට මොහොතකට හෝ පසුබසින නායකයෙකි ජනපතිදුට රටේ. එම නිවැරදි ක්‍රමයම ලංකාවත් හදුන්වා දෙන්න ජනපති තුමනි. නික්කන් ගමන් පලක් නැත.
පිට රට වල සංචාරය කරන සහ ජිවත්වන මිනිස්සු දන්නවා අපේ පාස්පෝර්ට් එකට ලෝකයේ තියන තැන. කියන්නත් ඉතාම කණගාටු අපිට සලකන්නේ ඉතාම නරකට !! විකිපීඩියා කියන විදියට මැදි අදායම් රටක් ලෙස ලංකාව මෙපනම පහලට වැටී තිබීම ගැන රටේ පාලන අධිකාරිය වගකිය යුතුය.
ගොඩබහිනකොට වීසා එකක් අපිට ලබා ගන්න වත් හදා ගත්තනම් නේද මෙහෙම රටකට වත්.
ඔය ගිවිසුම් වලින් අපිට ලැබුණු දේ මොනවද? ඉස්සර නායකයොත් ලෝකේ වටේ ගිහිල්ල මොනතරම් මේ වගේ ගිවිසුම් අත්සන් කරලා ඇත්ද...මහජනතාවට ලැබුණු දෙයක් නම් නැහැ.තවමත් පෙනමානෙක රට දියුණුකරන්න පුළුවන් නායකයෙක් බිහිවෙලා නැහැ.