(නිමල කොඩිතුවක්කු)
පුද්ගලයන් 34 දෙනෙකු ඝාතනය වී බිලියන ගණනක පාඩුවක් සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාම සම්බන්ධයෙන් එක් අයකුටවත් දඬුවමක් ලබා දීමට නොහැකි වීම පිළිබඳ රජයක් ලෙස ලැජ්ජා විය යුතුව ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මුතුරාජවෙල ඇතුළු රට පුරා 300 කට අධික කසළ කඳු අද ගොඩගැසෙමින් ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවන බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, මීතොටමුල්ල නාගරික උද්‍යානයේ සමාරම්භය සහ රුක් රෝපණ වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘මීතොටමුල්ල කසල කන්ද නාය ගිහින් සිදු වූ ඛේදවාචකය පිළිබඳව සිදු කළ සාකච්ඡාවට මේ කසළ කන්දෙන් හම්බකරගත් අය, කසළ කන්දට කුණු ගෙනවිත් දාන අය, ඒවට වගකියන්න ඕනේ. මැතිවරණයේදී මේ කසළ කන්ද ඉවත් කරනවා කියලා ඡන්ද ගත් අය කවුරුවත් හිටියේ නැහැ. අන්තිමට කසළ කන්ද යුද හමුදාවත් සමඟ තාවකාලිකව පාලනය කරන්න අපි බාරගත්තා.
මෙය නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක්. මේ ඉඩම සංවර්ධනය කර විකුණුවා නම් මිලියන දෙතුන් දාහක් නාගරික සංවර්ධන අධිකාරියට සොයා ගැනීමට හැකිව තිබුණා. කොළඹ නගර සභාව සහ අනෙකුත් අය මෙතනට කසළ ගෙනවිත් දාලා එම ඉඩම සම්පූර්ණයෙන් විනාශ කළා. ඒ අය ඒ වෙනුවෙන් අද වෙනකං සත පහක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙව්වේ නැහැ.
මේ කන්ද කළමනාකරණය කරනවා කියලා කෝටි ගණන් ධනය වැය කළා. හැබැයි කන්දේ කිසිම කළමනාකරණයක් නොතිබිච්ච බව කන්ද කඩා වැටීමෙන් පෙනුණා. ඒ සල්ලි ගියේ කාගේ සාක්කුවට ද කියන එක මේ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ ඉදිරිපත් වූ විනිසුරු නානායක්කාර මහත්මයාගේ වාර්තාවේ තිබෙනවා.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 34 දෙනෙක් ඝාතනය වෙලා බිලියන ගණනක ව්‍යසනයක් මේ ඉඩමට කරලා, වාර්තාවක් නිකුත් වෙලා තිබෙනවා තවමත් එක් අයෙකුටවත් දඬුවමක් දෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ගැන ඇත්තටම අපි ලැජ්ජා විය යුතුයි.
නගර සභාව පාලනය කරන අයවත්, පළාත් සභාවවත්, පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයවත් මේ ගැන වගකියන කිසිම ආයතනයක් මෙහි වගකීම බාර ගත්තේ නැහැ. ඒ ගැන අපි කනගාටුවෙනවා ” යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.