
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානය දින දෙකකට පසු අද (3) දිනයේ පාලුවට ගොස් තිබිණි.
අඛණ්ඩව දෙදිනක් පුරා විශාල සංඛ්‍යාවකට එන්නත් ලබාදුන් යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් ඇතුළු එහි යොදවා සිටි පිරිස් අද දිනයේදී යම් විවේකයක් ගත්තේ තමන්ට පැවරී තිබූ කාර්යය සාර්ථකව අවසානය කරා ගමන් කරද්දීය.
මෙම මධ්‍යස්ථානය ඉකුත් 1 වැනිදා උදෑසන 8.30 සිට දිනයේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරුණු අතර ඉන් එන්නත් ලබාගැනීම සඳහා සහස් සංඛ්‍යාත පිරිසක් පැමිණීමෙන් විහාර මහාදේවී උද්‍යානය දින දෙකක් පුරා අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබිණි.
මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දහවල් වන විට 35,000කට අධික පිරිසක් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම 1 වැනිදා බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී සිදුවූ අතර එම මාත්‍රාව ලබාගැනීමට නියමිතව සිටි පිරිස 4,90,000ක් පමණ වේ.
යුද හමුදාව ක්‍රියාත්මක කළ එන්නත්කරණ මධ්‍යස්ථානවලට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිවූයේ ඒවායේ තිබූ පිළිවෙල හා ජනතා පීඩා අවම කරවන ආකාරයේ සැලසුම් නිසාවෙනි.





COMMENTS
ක්‍රියාත්මක වූ ආකාරය හොඳයි නෙමේ ඉහළයි.. ඒත් සමහර වෙලාවට හිතවතුන්ට සලකන්න ගිහිල්ලා තත්වය බාල වුණු අවස්ථා තිබුණා. හොඳම දේ එහෙම අයට වෙනම තැනක් හෝ නිලධාරී පෝලිමක් තිබුණා නම්. මානුෂීය මෙහෙයුමක්...
මෙවැනි ආපදාකාරි අවස්ථාවක අතිමහත් කැපවීමකින් හමුදා නිලදරුවන් විසින් ජනතාවට ඉටුකරන ලද උතුම් සේවාවට අපගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමු.
සිංගප්පුරුව, දකුණු කොරියාව, ඊශ්‍රයල ආදී දියුණු රටවල් පිරිමි හැමෝටම අවරුදු 2ක් පමණ හමුදා පුහුණුව අනිවාර්ය කරලා තියෙන්නේ... පේනවා නේද ප්‍රතිපල....ලංකාව වගේ දුප්පත් රටවල් වල දියව් දියව් පක්ෂ දේශපාලනය කරන්ඩ බැරි නිසා මේවා කරන්ඩ ඉඩ දෙන්නේ නැහැ
අපගේ උත්තමාචාරය රණවිරුවනි .සමහරුන්ට ඇලජික් වී සිටින ඔබ හැමෝටම තෙරුවන් සරණයි
මේ අයාලේ යන ආණ්ඩුව කරන විකාර වැඩ , බූත වැඩ , සහ මනස්ගාත නාඩගම් වල හැටියට මේක අගය කලයුතු දෙයක්. ඒක කුහක නොවී කියන්න ඕන .නමුත් ඉතින් ඉස්තාලේ වහන්නේ අශ්වයා ගියාට පස්සේ !
අති විශිෂ්ඨයි . ජාතියේම ප්‍රණාමය !
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමගම අප රටෙහි රෝගීන් වැඩි වශයෙන් හමුවීම දක්නට ලැබෙන අතර මෙහිදී විශේෂයෙන් අන්තරාදායක වන්නේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් තිබීමයි. මෙම තත්ත්වය හමුවේ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයට දැනටමත් අප ලඟාවී ඇති හෙයින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායක තත්ත්වයකි.
අනේ සර් බොහොම ස්තුතියි .නන්දසේන එක්ක එකතු වෙලා මෙතුමාත් ඇනගන්න එක තමයි හොඳ නැත්තේ
යුධ හමුදාවට හද පිරි සුභ පැතුම්