
(විනීතා එම් ගමගේ)
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ්-19 පොකුරේ ආසාදිතයින් හමුවීම සාපේක්ෂව අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
එම පොකුර අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වී ආසාදිතයන් හඳුනාගැනීම හේතුවෙන් මෙසේ ආසාදිතයින් හමුවීම අඩුවෙමින් පවතිතැයි කී සමරවීර මහතා මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් හඳුනාගැනීම යැයි ද කීය.
ඇඟළුම් කම්හල් පොකුරේ සාම්පල 6000 ක් පෙරේදා දවස තුළ ලබාගත් බව කී අධ්‍යක්ෂවරයා දිගින් දිගටම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බැවින් රෝගය ගමන් කරන දිශාව ඉදිරි දින දෙක තුළ කිව හැකි වනු ඇතැයි ද පැවැසීය. කොරෝනා වසංගතය ඇති වූ දා සිට මේ දක්වා පීසීආර් පරීක්ෂණ 320,000 ක් සිදුකර ඇති බවත් 4,488 දෙනෙක් හමුවී ඇති බවත් පෙන්වා දුන් සමරවීර මහතා එයින් 1,053 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් ඇති වූ පොකුරේ ආසාදිතයන් බව ද කීය.
සරමවීර මහතා මේ අදහස් පළ කළේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමරවීර කියා සිටියේ රෝහල් පද්ධතිය තුළ රෝගීන් හමුවුවත් සාමාන්‍ය රෝගීන් හා මිශ්‍රවීම වැළැක්වීමට ගත යුතු සියලු පියවර ගෙන ඇති බවය. ජනතාව අනවශ්‍ය බියක් ගත යුතු නැතැයි ද එසේ වුවද සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදීම අත්‍යවශ්‍ය බව ද කී ඔහු ස්වසන ආබාධ ඇත්නම් වහා සෞඛ්‍ය අංශවලට දන්වන මෙන් ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් රෝහල් ඇඳන් 2000 ක් වෙන්කොට ඇති බවත් අවශ්‍ය වුවහොත් එය 3000 දක්වා වැඩිකිරීමට සූදානම් බවත් ඉන් එහා අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
පාසල් සිසුන් විභාග සඳහා යන්නට අවසර ලබා දෙන්නේ විශේෂිත වූ ප්‍රවාහන ක්‍රමයක් සමග යැයි ද අවදානම දැක සූදානම් වන නිසා ගැටළු අවම වනු ඇතැයි විශ්වාස කරන බව ද වෛද්‍ය සමරවීර මහතා කීය. කොළඹ ජනගහනය අධික බැවින් හා ගම්පහට ඉතා ආසන්න බැවින් කොළඹ දී හමුවිය හැකි ආසාදිතයින් ගණන වැඩිවේ යැයි සැක කරන බවත් ආශ්‍රිතයින් නිරෝධායනය වන ස්ථානයෙන් පිටට යාම වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ දී ආසාදිත ගැබිණි මවක් හමුවීමත් සමග එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතැයි වාර්තා වන බව කී ඒ මහතා ප්‍රතිකාර ගැනීමට අත්‍යවශ්‍ය අවස්ථාවල රෝහලට යාමට කටයුතු කරන ලෙසත් එවැනි කටයුතු ප්‍රමාද කිරීම වෙනත් ප්‍රශ්න ඇති කළ හැකි බවත් පෙන්වා දුන්නේය.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ හොත් කිසිදු සැකයකින් තොරව මෙම පොකුර ද ජයගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.
(ඡායාරූපය -ළහිරු හර්ෂණ)
COMMENTS
අනේ මහත්තයෝ.. ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නේ නැතුව ඇත්ත කියන්නකෝ. ඉස්පිරිතාලවල්වල ඕනෑම කරන අවම පහසුකමක්වත් නෑ. නේවාසිකාගාරවල ඉන්නේ ඔක්කොම එක ගොඩේ. දැනට ළමා රෝහලේ තත්වය ඉතාමත් අවදානම්...
ඔව්, ආණ්ඩුව ළඟදී කරපු ගොන්කම් කීපයක් වහගන්න හිත නිවන කතාවක් කියන්න ඕනේ බහුතර වහලුන්ට සැනසෙන්න...!!!
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමේ ක්‍රමය නතර කළ යුතුයි. අදාළ අංශවල නිහැඬියාවෙනුයි මේ තරම් දෙයක් පැතිරුණේ. පහුගිය කාලේ හැමෝම හැසිරුණේ කොරෝනා අවසන් රෝගියාත් ලෝකෙන් තුරන් වුණා සේ හිතලා දැන් මොනවා කිව්වත් වැඩක් නෑ.
විකාර කියවන්න එපා. දිනකට ඔබ PCR පරීක්ෂණ 25000ක් බැගින් දින 10ක් කළොත්, අපිට හරි ගණන බලාගන්න පුළුවන්. වූහාන්වල සියලු දෙනාම පරීක්ෂා කරලා කෝවිඩ් 19ම තුරන් කළා.. අන්න ඒ විදිහට තමයි කරන්න ඕනේ...
කට මැත දෙඩවීමට ඉක්මන් වෙන්න එපා. අපට පේන විදියට මේක සමාජගතවෙලා අහවරයි. මේකෙ තියෙන ප්‍රවෘත්ති බැලුවාම පේනවා... මන්නාරම, රිජ්වේ රොහලේ බිළිඳාගේ පියා සහ මිනුවන්ගොඩ පොත් ප්‍රදර්ශනය බලපු අය, මේ තුන ස්වායත්ත නොවෙයිද?
මේ එකිනෙකා විවේචනය කරමින් සිටිය යුතු කාලයක් නෙවෙයි. මේ භයානක වෙෙරසය අපේ රටින් තුරන්කර දැමීමට හැමෝම සහයෝගයෙන් කටයුතු කළයුතු කාලයක් බව සිතට ගන්න. පක්ෂ ජාති, අාගම් භේදය පසෙකලා.. සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට අත්වැල් බැඳගනිමු. එහෙම නොවුනණොත් අපි හැමෝටම වැලපෙන්නට සිදුවේවි..