( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (2) රිට් පෙත්සමක් ගොනු කළේය.

 

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.

 

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

 

2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරු මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.

 

එසේ කළහොත් එය නීතිවිරෝධී බවත්, පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා සිටී.