ඇමෙරිකාවේ, එෆ්.බී.අයි. හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සතු ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතිය සයිබර් ප්‍රහාරයක් එල්ල විය. එෆ්.බී.අයි. කාර්යාංශය නිවේදනය කළේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

සයිබර් ප්‍රහාරයක් යනු පරිගණක පද්ධති, වෙබ් අඩවි හෝ ස්මාර්ට් උපාංග වෙත අනවසරයෙන් ඇතුළු වී ඒවායේ ඇති දත්ත සොරා ගැනීම, විනාශ කිරීම, වෙනස් කිරීම හෝ එම පද්ධති අඩපණ කිරීම සඳහා සිදු කරනු ලබන ඩිජිටල් ප්‍රහාරයකි. 
මෙම ප්‍රහාර එල්ල කරන පරිගණක පද්ධති, මෘදුකාංග සහ ජාල පිළිබඳව ඉතා ඉහළ තාක්ෂණික දැනුමක් ඇති පුද්ගලයන් හැඳින්වෙන්නේ හැකරුන් යනුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාවේ ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර අපරාධ තොරතුරු හුවමාරු කරගැනීමට භාවිත කරන දත්ත පද්ධතිය ඉලක්ක කර ගනිමින් මෙම හැකරුන් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවය.

අපරාධකරුවන්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් සහ සොරකම් කරන ලද දේපළ ඇතුළු වැදගත් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරේ. ඉකුත් මාස කීපයේ මෙම පද්ධතියේ ආරක්ෂාවට තර්ජනයක් වුණු දෙවැනි අවස්ථාව මෙයයි. හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.