(අංජුල මහික වීරරත්න)

රෝග වලක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

ඉදිරි සියවස තුළ රජයේ දන්ත වෛද්‍ය සේවය ප්‍රතිකාර කිරීමට පමණක් සීමා නොවී, රෝග වලක්වා ගැනීම (නිවාරණය), කල්තියා රෝග හඳුනා ගැනීම සහ සැමට සමාන අවස්ථා ලබා දීම යන මූලධර්ම මත පදනම්ව ඉදිරියට යා යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

1926 වසරේදී කොළඹ මහ රෝහලේ ඉතා සුළු පරිමාණයෙන් ආරම්භ වූ රජයේ දන්ත වෛද්‍ය සේවය, අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් 106 දෙනෙකු ඇතුළු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,350 ක් පමණ සේවය කරන, දිවයින පුරා විහිදුණු ප්‍රතිකාර මධ්‍යස්ථාන 600 කින් සමන්විත ශක්තිමත් ජාලයක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.