(ඩයනා උදයංගනී)
රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් ඇතිවන අකාරයේ අසත්‍ය පුවතක් මාධ්‍ය වෙතයාම භයානක තත්ත්වයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එබැවින් ඒ ගැන සෙවීම ආණ්ඩුවේ වගකීමක් බවද ඇමතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා සත්‍ය වශයෙන් එවැන්නක් පැවසුවේ නම් එම පුවත ලබාදුන් අය තම නමින් එය පළකරන ලෙස ද පැවසිය යුතුව තිබූ බව කී ඇමතිවරයා ‘ද හින්දු‘ පුවත්පතේ මාධ්‍යවේදිනිය පවසා ඇති අන්දමට එම පුවත ඇය අමතා ලබාදීමට සිව් දෙනෙකුම කටයුතු කිරීම සැක සහිත බව ද කීවේය.
මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් ඉන්දියාවට සත්‍ය පැහැදිලි කරදීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම රජයට දැඩි උත්සාහයක් දැරීමට සිදුවූ බව ද මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පිරිසක් හෝ වෙනත් කවුරුන් හෝ සැලසුම් සහගතව මෙම පුවත පළකරවා දෙරට අතර ගැටුමක් ඇති කර කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් කිරීමට උත්සාහ කර ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
මෙම පුවත ලබාදුන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි නිසා ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදිනියගෙන් තොරතුරු ලබාගත නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වෙනත් පියවරක් අනුගමනය කිරීමට සිදුවන බව ද ප‍්‍රකාශ කළේය.
රෝ ඔත්තු සේවය සම්බන්ධ පුවත ආණ්ඩුවේම කිසිවකු විසින් කළ ද්‍රෝහී ක‍්‍රියාවක් ද යන්න ගැන මාධ්‍යවේදියෙකු මෙහිදී ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙවැනි අසත්‍ය නිර්මාණය කිරීම රටට යහපත් නොවන බවයි.
අමාත්‍ය මණ්ඩලය තුළ කෙරෙන ප‍්‍රකාශයන් විකෘති කර පිටතට දෙන අය එහි සිටී නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ලැජ්ජාවක් බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
මේකනං විහිළු කැබිනෙට් මණ්ඩලයක්.
මොන කතා මොන සිනා...... හැමදෙනාම දන්නා දෙයක් තමා කැබිනෙට්ටුවේ දෙපත් නයින් ඉන්නවා කියා. ඉතින් මොකක්හරි කියලා අවුල් කරලා කියක් හරි කඩාගන්න හිතන්නැති.
මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘ යන්න ජනපතිත් රටට කියලත් ඉවරයිනෙ.මේවා සේරම බොරු කතා ජනපතිට දැන් උවමනා කරන්නෙ එජාපය හලන්න.සමහරවිට හිටපු අයනම් ගේමක් ගහන්න හදනව ඇති.
හතර දෙනෙක්ම එකම බොරුව ගොතයිද? එක බොරුවක් නම්, අගමැති තුමා මේ කාරණය ගැන ඔහුගේ සංචාරයේදී ඉන්දියානු බලධාරීන්ගෙන් විමසන්නේ මොන කෙහෙල්මලකටද?
අටුවා ටීකා අවශ්‍ය නැහැ . හැම පක්ෂයේම ආරවුල් ඇතිකරන්නේ දෙපත් නයින් . පක්ෂ භේදයෙන් තොරව ඒ අයවලුන් ප්‍රසිධියේ නෙරපලා දැම්මහම ඔය අස්ථාවර භාවය නැතිවෙයි .