( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ  ජනතාවට "බූස්ටර්" එන්නත ලබාදීමට තීරණය කිරිම ඉතා සාධනීය පියවරක් බව මෙරට සිටින කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමනාකරණය කරමින් පවත්වාගෙන බව කැනේඩියානු මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සමග පැවැති හමුවක දී කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා මේ බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

මෙම සාකච්ඡාවේදී කැනඩා රජය විසින් පරිත්‍යාග කළ  ඇමෙරිකානු ⁣ඩොලර් මිලියන 1.3 ක් වටිනා සිරින්ජර් සහ සෞඛ්‍ය උපකරණ තොගයක් ද කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත සංකේතාත්මකව පිරිනැමිණි.

එම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ද එක්ව වූවාය.

මෙරට ක්‍රියාත්මක ගෘහස්ථ ප්‍රතිකාර වැඩ පිළිවෙල අතිශය සාර්ථක බවත් එය ලෝකයටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය එහිදි ප්‍රකාශ කර තිබේ