පැය හයක බිඳ වැටීමකට පසු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් යනාදි සමාජ මාධ්‍ය ජාල සහ පණිවුඩ ජාල මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් යනාදී සමාජ මාධ්‍ය සියල්ල ෆේස්බුක් සමාගමට අයත් වන අතර සඳුදා, එනම් ඊයේ (4) පස්වරුවේ බිඳ වැටීම් වාර්තා විය.

ෆේස්බුක් සමාගම එම අවස්ථාවේදී බිඳ වැටීමට හේතුව කුමක්දැයි සඳහන් කර නොතිබුණු අතර බිඳ වැටීමක් සිදු ව ඇතැයි ද සමාජ ජාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ද සඳහන් කර තිබිණි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ මාධ්‍ය ජාල වන අතර මැසෙන්ජර් සහ වට්ස්ඇප්  පණිවුඩ සේවා වේ.

මෙම බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ පරිශීලකයන් බිලියන 3.5කට පමණ එම සේවාවවලට පිවිසීමට නොහැකි විය.

මෙම ෆේස්බුක් සමාගම මුහුණ දුන් විශාලතම බිඳ වැටීම බව ද වාර්තා වේ.

ෆේස්බුක් සමාගමේ ආචාරධාර්මික නොවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම සමාගමේ ම ඉහළ පෙළේ සේවිකාවක් අනාවරණය කිරීමෙන් අනතුරුව සිදු වූ දෙවැනි බිඳ වැටීම මෙය වේ.

ෆේස්බුක් සමාගම වෛරී ප්‍රකාශ හෝ අථත්‍ය තොරතුරු (අසත්‍ය හා ව්‍යාජ තොරතුරු යනාදිය) සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් සමාගම අඛණ්ඩව ලාභ පසුපස යන බවත් එම නිලධාරිනිය අනාවරණය කළාය.

ෆේස්බුක් ජාලයේ බිඳ වැටීමත් සමඟ ලොව බොහෝ දෙනා ට්විටර්, ටික්ටොක් යන සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසියහ.

මෙම බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ කොටස් සියයට 4.9කින් පහළ වැටී ඇති අතර එය ඉකුත් නොවැම්බර් මාසයෙන් පසු සිදු වූ විශාලතම පහළ වැටීම යැයි ද වාර්තා වේ.

 

රොයිටර්ස්