(ප්‍රසාද් රුක්මල් )

පහරදී ලයිටරයකින් පුලුස්සා වධහිංසනයට,කෲරත්වයට ලක්කර වත්තේගම යටිරාවන පහල ගම්මැද්ද ප්‍රදේශයේදි අතුරු මාර්ගයක දමාගොස් සිටියදී සොයාගත් සිව්හැවිරිදි සිගිති දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියා ෙ හාලිඇල දික්වැල්ලවත්තේ සහෝදරියගේ නිවසේ සැගවී සිටියදි අද සැකපිට අත් අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සදහා යොදා ගත් ත්‍රිරෝද රථය ද සැකකරුවන් සමග පොලිස් බාරයට ගෙන තිබේ.

මහනුවර ගනේතැන්න ප්‍රදේශයේ කුලි නිවසක පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු මවක සහ ඇය සමග සිටි ඇගේ අනියම් සැමියා බව කියන 28 හැවිරිදි කුලී රථ රියැදුරකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර කාන්තාව දෙදරු මවක බවත්, ඇය කාලයක් මහනුවර ගනේතැන්න ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කර ඇති බවත් පොලිසිය කියයි.

මෙම කාන්තාව නීතියානුකූල සැමියාගෙන් වෙන්වී  සිය සිව්හැවිරිදි සිගිති දියණිය සමග ගනේතැන්න ප්‍රදේශයේ කුලි නිවසේ සිට ඇති බවත් ඒ අතරතුරේ දී මෙම සැකකාර කුලී ත්‍රිරෝද රථ රියැදුරු දැන හදුනාගෙන ඔහු සමග අනියම් සබදතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය.