දාගැබ සංරක්ෂණයට පෙර...


ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන්කොට සෝමනම් නුවර කරවන ලදැයි කියන දාගැබ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල පුද බිමට කි.මී. 4ක් පමණ උතුරු දෙසින් තිබෙන විල්ගම් වෙහෙර දාගැබ බවට පිළිගත හැකි සාධක අනුව නිගමනය කළ හැකි බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා පවසයි. උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය සේරුවිල විල්ගම් වෙහෙර රජ මහ විහාර පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ කෙරුණු  අවස්ථාවට සහභාගි වූ තන්ත්‍රිගේ මහතා එසේ ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී අධිකාරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු පුරාවිද්‍යාඥ ටී.ඩී.සී. පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා මෙසේ පැවසීය.

 පුරාණයේ විල්ගම් වෙහෙර පිහිටි ප්‍රදේශය සෝමනුවර විය හැකියි. කාවන්තිස්ස මහ රජුගේ සහෝදරිය වන සෝමාවතියත් ඇය විවාහ කරගත් ගිරි අබා නම් ප්‍රාදේශීය රජුත් දකුණු දළදාව තැන්පත් කර දාගැබක් ඉදිකළ බවට ධාතුවංශයේ සඳහන් වෙනවා. එම ධාතුවංශයේ විස්තරයේම සේරු නම් විල  කෙළවර ගිරි අබා නම් රජු විසින් කළ දාගැබ පිහිටි ස්ථානය බවට සඳහන් වෙනවා.

 වර්තමානයේ සේරුවිල තිබෙන්නා වූ  විල කෙළවර මෙන්ම සේරුවිල පුද බිමට උතුරු දෙසින් ඇති පෞරාණික එකම දාගැබ  මෙම දාගැබ නිසාවෙන්, නිගමනය කළ හැකි වන්නේ එම දළදා වහන්සේ තැන්පත් දාගැබ මෙම විල්ගම්වෙහෙර දාගැබ වන්නට පිළිවන් බවයි.
ධාතුවංශයේ සඳහන් පරිදි සේරුවිල දාගැබ නිමවා සඟසතුකොට පූජා කිරීමේ උත්සවයට  කාවන්තිස්ස රජු ඇතුළු පිරිස පිටත් වූයේ සෝමනුවර සිට බව සඳහන් වෙනවා. එහි මෙසේ ද සඳහන් වෙනවා.  

“ඉරු අවරට ගිය සැන්දෑ කාලයේ රජු ඇතුපිට නැගි ඇත්පෙරහරින් සේරුවිලට යන්න පිටත් වුණා. රජු ඇතුළු පිරිස සේරුවිලට ළඟා වන විට සේරුවිල සිටි පිරිස පහන් ආලෝක දල්වමින්  සිටි බවට තොරතුරු සඳහන් වෙනවා.  ඒ අනුව අපට සිතිය හැක්කේ මෙම විල්ගම් වෙහෙර පුරාණයේ සෝමනුවර නම් වූ මෙම නගරයෙන් සවස හතරට පමණ ඇත් ගමනින් රජු පිටත්වන්නට ඇති බවයි. සේරුවිල පුදබිමට සවස 6 ට පමණ  පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.  ධාතුවංශයේ තොරතුරු අනුව සේරුවිල හා ගිරි අභා රජුගේ ගිරිනුවර අතර දුර ඇතෙකුගේ ගමනින් පැය දෙකකින් පමණ  යා හැකි වන්නට පුළුවන්  ප්‍රදේශ දෙකකි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා :- වත්මන් ජනාධිපති දිවයින පුරා විද්‍යාත්මක සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. එය සතියෙන් සතිය රැස්ව තීන්දු තීරණ ගන්නවා පමණක් නොව, සක්‍රීයව ක්‍රියාත්මක කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මෙම සේරුවිල විල්ගම්  වෙහෙර දාගැබ කැණිම් කටයුතු කරගෙන යනවා. මෙම දාගැබ අවධි 3 ක් යටතේ ඉදිකෙරුණු බවට සාක්ෂි තිබෙනවා. ක්‍රි:පූ : 1, 2, ශතවර්ෂවල මෙන්ම අනුරාධපුර මැදභාගයේ සහ පොළොන්නරු යුගයේ සහස්සමල්ල රජුගේ කාලයේ කාසි හමු වීම තුළින් ද පොළොන්නරු යුගයේ අගභාගයේ මෙහි ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බවට නිගමනය කර හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු පුරාවිද්‍යාඥ ටී.ඩී.සී. පුෂ්ප කුමාර මහතා එහිදී මෙසේ පැවසීය.

මෙම දාගැබ් මළුව ගඩොල් ස්ථර 16 කින් සමන්විත වනවා. මෙහි කැණිම්වලින් පැරණි ඇත් පවුරක් හමු වී තිබෙනවා. එය දාගැබේ පළමු අවධියේ කර වූ අංගයක්. දෙවැනි අදියරේ විශාල කිරීම් නිසා එම ඇත් පවුර විනාශ වී තිබෙනවා. මහා වංශයේ 33 පරිච්ඡේදයේ සද්ධාතිස්ස රජු රුවන්වැලි සෑයට ඇත්පවුරක් එකතු කළ බව සඳහන් වෙනවා. ඉතා පැරණි දාගැබ්වල තිබුණු අංගයක් වශයෙන් ඇත් පවුර හඳුන්වන්න පුළුවන්. මෙහි කැණීම්වලින් ඡත්‍ර හතරක් හා ඡත්‍ර දණ්ඩක් හමුවී තිබෙනවා. පැරණි දාගැබ්වල කොත වෙනුවට ඡත්‍ර දණ්ඩ මත ඡත්‍රය තබා දාගැබ සකස් කර තිබෙනවා. වර්ග කි:මී: 400 පුරා මෙම චෛත්‍ය මළුව පිහිටා තිබෙනවා. ඉතා දියුණු වාස්තුවිද්‍යාත්මක තාක්ෂණයක් අනුව මෙහි ඉදිකිරීම් කර ඇති  බව පෙනෙනවා. මෙහි කැණීම්වලින් දුර්ලභ පුන්කළස සහිත සිරිපතුල් ගලක් හමු වී තිබෙනවා. ගඩොලින් නිමවන ලද චෛත්‍ය මළුවක් ඇති මෙම දාගැබ සේරුවිල ස්තූපයටත් වඩා පැරැණි දාගැබක් වශයෙන් සිතන්න පුළුවන්.

පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා:- පුරාණයේ මෙරටට තම්බපණ්ණි යනුවෙන් හඳුවන්නට ඇත්තේ තඹ ලෝහවලට ප්‍රසිද්ධ නිසාය. මූලාශ්‍රවල  අතීතයේ තඹ අපනයනය කළ බවට තොරතුරු සඳහන් වෙනවා. ආසියාවේ දැවැන්තම තඹ නිධිය තිබෙන්නේ සේරුවිල ප්‍රදේශයේ. මෙම විල්ගම් වෙහෙර දාගැබේ නම  කුමක් දැයි ස්ථීර වශයෙන් ම ප්‍රකාශ කිරීමට තවම සාධක හමුවෙලා නෑ. නමුත් ක්‍රි:පූ: 1, 2 සියවස්වල ඉදිකරන ලද බවට නම් පැහැදිලිව කිව හැකියි.

මෙම පුරාවිද්‍යාත්මක  භූමිය පිළිබඳව පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කළ කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ මෙන්ම අළුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේ ද මෙම විල්ගම් වෙහෙර පූජා භූමියේ වතාවත් කරමින් ආරක්ෂා කරගෙන සිටින මොරටුවේ සමින්දි ස්වාමින් වහන්සේ ඇතුළු සෙසු ස්වාමින් වහන්සේලා මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා

අප දෙපාර්තමේන්තුවේ කටයුතු කර ගෙන යාමට ප්‍රමාණවත් පුරා විදාඥයින්ගේ හිඟයක් තියෙනවා. පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරීන් දෙපාර්තමේන්තුවටම සිටින්නේ  20යි. පුරාවිද්‍යා ආචාර්ය උපාධිය හැදෑරීමට මිලියන 5 පමණ මුදලක් වැය වෙනවා. කෙසේ නමුත් පවත්නා සම්පත් උපරිම යොදාගෙන අප රටේ උරුමය ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට අපි කටයුතු කරනවා යැයි ද ඔහු පැවසීය.

ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා නටබුන් පරීක්ෂා කරමින්...

 

මහාචාර්ය සෙනරත් දිසානායක මහතා අදහස් දක්වමින්...

 

(*** සේරුවිල සුගත් බද්දේගෙදර)