(ඩයනා උදයංගනී)

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට  පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ ‘‘පුස්සවල දොළ‘‘ රක්ෂිත ප්‍රදේශයේ තිබූ විශාල ගස් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කර කපා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

කපා බිම හෙලා ඇති ගස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට ඇති බවත්, වගකිවයුතු ආයතන වල කිසිඳු අවසරයකින් තොරව හොර රහසේ මෙම විනාශය සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ මිහිකත සුරැකීමේ කාර්යංශ ලේකම් පේශල පසන් කරුණාරත්න මහතා පැවසුවේ දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුල කුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු කළ නොහැකි බවත්, යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබාගත යුතු බවත්ය.

මෙලෙස විනාශ කර ඇති භුමිය තුල දුර්ලභ ශාක විශේෂ ගණානාවක් පවතින අතර, දොළෙහි ද මෙරටට ආවේනික හා වඳවීයාමේ තර්ජනයට ලක්වූ මත්ස්‍ය විශේෂ රැසක් ජීවත් වන බව ඔහු සඳහන් කළේය.

මෙම දොළ මාර්ගය,ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලන අතර අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහලට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරන බව ඔහු පැවසීය.