( තිළිණි ද සිල්වා )

පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන පෙලේ සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා සදහන් කර සිටී.

ඒ අනුව අද (08) වනවිට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතන සිද්ධියේ  ආරක්ෂිත කැමරා දර්ශන සහ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම සැකකරුවන් 8 දෙනා හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔවුන්ව ඊයේ ගුජරන්වාලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මීට පෙර සැකකරුවන් 26 දෙනෙකු පසුගිය සඳුදා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.