(දයාරත්න ඇඹෝගම)

"පසුගිය කාලයේ සිදුවු හිරිහැර බලද්දි දැන් ඉන්න පරිවාස නිලධාරින් කිසිවෙකු ගැන අපට විශ්වාසයක් නැහැ. අපට කරදර හිරිහැර කරපු නිලධාරින් තවමත් නිදැල්ලේ පසුවෙනවා. අදටත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ළමා නිවාස භුමියේ රාත්‍රි කාලයේ සැරිසරනවා." යැයි අනුරාධපුර, අවන්ති දේවි ළමා නිවාසයේ දැරියන් පිරිසක් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හමුවේදී පැවසිය.

අවන්ති දේවි ළමා නිවාසයේ පවතින වත්මන් තත්වය සොයා බැලිම සදහා හදිස්සියේම ඊයේ (21) දින පස්වරැවේදී එහි නිරික්ෂණ චාරිකාවක නිරතවු ඉඩම් අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉදිරියේදි එම ළමා නිවාසයේ දැරියන් පිරිසක් මේ බව පැවසිය.

මෙම නිරික්ෂණ චාරිකාවට අනුරාධපුර, නව සංඝමිත්තාරාමයේ ස්ථාන භාර ධම්මානි අනුරපාලි මෙහෙණින් වහන්සේ වැඩ බලන පරිවාස කොමසාරිස් ගයාන් වන්නිනායක, අනුරාධපුර නගර සභාවේ නාගරික මන්ත්‍රිණි සුපිනි සදමාලි යන මහත්ම මහත්මිහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු මෙම පිරිස ළමා නිවාසයේ තත්වය පිළිබද සොයා බැලූහ.

දරැවන් රාත්‍රි කාලයේ නිදාගන්න සමහර කාමරවල ජනෙල් අබලන්වී පියන් නොමැතිව තිබුණි. වැසිකිළි කැසිකිලිද ජරාජිර්ණවී ඇති බව මෙහිදී අනාවරණය විය. එවා කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසටත් දරුවන්ගේ ආරක්ෂාව සදහා සි.සි.ටි.වී. කැමරා පද්ධතියක් සවිකරන ලෙසද ඇමතිවරයා විසින් වැඩ බලන පරිවාස කොමසාරිස්වරයාට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

මෙහිදී මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් හට පසුගිය දිනවල සිදුවු හිරිහැර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.

"අවන්ති දේවි ළමා නිවාසයේ පහුගිය කාලයේ ඇතිවූ සිදුවීම නිසා රජරට ප්‍රදේශයටම විශාල අපකීර්තයක් සිදුවුනා. මෙම ළමා නිවාසයේ සිටි දරුවන්ට සිදුවූ හිරිහැරය සම්බන්ධයෙන් නිලධාරින් වගකිවයුතු බවට කරුණු අනාවරණය වුනා.

උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්‍ය පියල් නිශාන්ත මහතාත් මෙහි පැමින පරික්ෂණයක් පවත්වන්න නියම කළා. නමුත් මේ දක්වා සිදුවෙලා තියෙන්නේ වැරදි පෙන්නලා දුන්න රියදුරු මහතෙකුගේ වැඩ නවත්වපු එක පමණයි. මේ තමයි දැනට වෙලා තිබෙන තත්වය.

 
මම මේ පිළිබදව වහාම පරික්ෂණ කඩිනම් කරන්න කියලා ප්‍රධාන ලේකම්තුමාට දැණුම් දුන්නා. මම මේ ළමයි එක්ක දැන් සාකච්චා කළා. එහිදි පැහැදිලිව පෙණුනා මේ ළමයින්ට විශාල හිරිහැරයක් වෙලා තියෙනවා කියලා. මේකට වගකිව යුත්තෝ තම තමන් බේරෙන්න වැඩ පිලිලෙක් තමයි මෙතැන දැන් සිදුවන්නේ. වගකිවයුතු නිලධාරින් ඔක්කොම එකට සංවිධානය වෙලා තමන් ඇග බේරාගන්න හදනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැණුවත් කරලා වෙනම පරික්ෂණ කණ්ඩායමක් ලබන සතියේ වෙනකොට එවනවා.

මේ දරැවන්ට සිදුවු හිරිහැර කරපු සියල්ලන්ට දැඩි දඩුවම් ලබාදිමට කටයුතු කරනවා. මේවාගේ ළමා නිවාස රට පුරාම තිබෙනවා. දෙමාපියන් අහිමි නොයෙකුත් හිරිහැර වලට ලක්වුන අසරණම වෙච්ච ගැණු දරැවෝ මෙතන ඉන්නේ. එම නිසා රටපුරාම මේවගේ ළමා නිවාසවල ඉන්න දරුවන්ට ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා දැණුවත් කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කිරීමට ස්වාධීන කමිටුවක් පත්කිරිමට කටයුතු කරනවා." යැයිද අමාත්‍යවරයා එහිදී පැවසිය.