(රොමේෂ් මධුෂංඛ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වව්නියාව ඕමන්ත යුදහමුදා මාර්ග බාධකයකදී අණනොතකා ධාවනය වූ කැබ් රථයක් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක් කර  පලා ගොස් ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ පිහිටා ඇති යුදහමුදා මාර්ග බාධකයකදී ඊයේ සවස යුද හමුදා සෙබලුන් විසින් සැකකටයුතු කැබ් රථයක් නැවත්වීමට ගත් උත්සහයකදී යුදහමුදා සෙබලුන් දෙදෙනාද අනතුරට ලක්කොට පලා ගොස් ඇත.

 පසුව යුද හමුදා සෙබලුන් විසින් කැබ් රථය පසුපස ලුහුබැඳීමෙන් අනතුරුව කැබ් රථයද මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වී තිබියදී සොයාගෙන ඇතිඅතර සැකකරුවන් පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

එහිදී කැබ් රථයේ ගැටීම හේතුවෙන් රාජකාරියේ නිරත යුදහමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

කැබ් රථය පරික්ෂා කිරීමේදී කැබ් රථයේ බුරුත දැව තොගයක් පටවා තිබි ඇති අතර අදාල දැව තොගය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙලෙස නොනවත්වා ධාවනය කොට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඕමන්ත පොලීසිය මේ වන විට පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.