(අංජුල මහික වීරරත්න)

තේ වගාකරුවන්ට අවශ්‍ය රසායනික පොහොර මෙට්‍රික් ටොන් 63,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා  පොහොර ආනයනකරුවන් අද (16) කෘෂිකර්ම අමාත්‍යවරයාට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 මීට අමතරව දැනටමත් සිය ගබඩාවල ඇති පොහොර තොග එළවළු වගා කරන ගොවීන් සඳහා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට ද ආනයන කරුවන් එකඟතාවය පළ කර තිබේ .

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (16) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය. 

මෙහිදී පොහොර ආනයනකරුවන් පවසා ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලැබිය යුතු විශාල මුදලක් ගැනීමට නොහැකිව පැවැතිම නිසා පොහොර ඇනවුම් කිරීමේ බාධා පැමිණ ඇති බවයි.

 ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ජනවාරි 05දාට පෙර ආනයනකරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ලබා දීමට ද පියවර ගන්නා බව අමාත්‍ය අලුත්ගමගේ මහතා මෙහිදී පොහොර ආනයන කරුවන්ට පොරොන්දු වී තිබේ.

පොහොර ආනයනකරුවන් සහ දේශීය පොහොර නිෂ්පාදකයින් මුහුණපාන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කර ඇති අතර මේ අනුව යල කන්නයට අවශ්‍ය රජයේ නිර්දේශිත රසායනික පොහොර ආනයනය කර විවෘත වෙළඳපොලේ විකිණිමට පියවර ගන්නා බවත් ජනවාරි හා මාර්තු අතර කාලයේදී ආනයන සම්පූර්ණ කරන බවත් පොහොර ආනයනකරුවන්  මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

එමෙන්ම යල කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට ද පොහොර ආනයනකරුවන් හා දේශීය පොහොර නිෂ්පාදකයින් එකඟතාවයට පැමිණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.