(ඩයනා උදයංගනී)

හම්බන්තොට, තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යොදවා තිබීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පූර්ණ පරීක්‍ෂණයක් සිදුකළ බවත්, එය එම චීන ජාතිකයින් නියෝජනය කරන ආයතනයේ නිල ඇඳුමක් බව එහිදී හෙළි වූ බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ආරක්‍ෂක සේවා සපයන ආයතනවලත් ලියාපදිංචි නිල ඇඳුම් ඇතැයි කී ඇමතිවරයා මෙය එවැනි ආකාරයේ ආයතනකට අයත් සාමාන්‍ය ඇඳුමක් බව පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි සඳහන් කළේය.

එබැවින් එවැනි ඇඳුමක් ඇඳීමේ වරදක් නැතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා බුද්ධි අංශය දන්වා තිබෙන බව ඇමතිවරයා පැවසීය.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම කාර්යයේදී පුරාවිද්‍යා පනත් උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව ද රඹුක්වැල්ල මහතා පැවසීය.

වැව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වන්නේ චීන ආරක්‍ෂක අංශ නිලධාරීන්දැයි මෙහිදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ තමා දන්නා තරමින් ඔවුන් චීන ආරක්‍ෂක අංශවලට සම්බන්ධ අය නොවන බවත්, ගරාජ්වලත් එවැනි නිල ඇඳුම් ඇති බවත්ය.

මින්නේරිය හබරණ කැලයේ අලි පැටවුන් සොරකමක් සිදුවන බවට ඇති තොරතුර සම්බන්ධයෙන් ද විධිමත් පරීක්‍ෂණයක් සිදුවන බව කී ඇමතිවරයා එහි සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී දැනගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.