( තිළිණි ද සිල්වා )

දිවයිනේ රෝහල්වල භාවිතය සදහා ජර්මනියේ නිෂ්පාදිත  රුපියල් කෝටි 30 ක් වටිනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක් ජර්මනිය මෙරටට පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

කොවිඩ්-19 මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කටයුතු, සෞඛ්‍ය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තොගය ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බේඩ්න්-වුර්ටෙම්බර්ග් හි ශ්‍රී ලංකා කොන්සල් ධර්ම විවේකචන්ද්‍රන් මහතා ගේ මැදහත්වීමෙන් මෙරටට ගෙන්වා ගත් ජර්මානු පරිත්‍යාගය සංකේතාත්මකව  විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයකදී එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත නිල වශයෙන් ඊයේ  භාර දෙන ලදී.

කොව්ඩ්-19 වෛරසය හඳුනා ගැනීමට සහ එහි ව්‍යාප්තිය පාලනය කිරීමට උපකාරී වන මෙම වටිනා පරිත්‍යාගය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කටයුතු, සෞඛ්‍ය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් ගුවන් මගින් ප්‍රවාහනය කරන ලද මෙම පරිත්‍යාගය මෙරටට එවීමට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මහත්මිය සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහයෝගය ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.