( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොතලාවල ජාතික  ආරක්ෂක  විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල  පාර්ලිමේන්තු මං සන්ධියේ පැවති උද්ඝෝෂණයකට සහභාගි  වෙමින් සිටියදී  අත්අඩංගු වට ගෙන  දැනට  මුලතිව් ගුවන් හමුදා  මූලස්ථානයේ රඳවා සිටින   ජාතික භික්‍ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් කොස්වත්තේ මහානාම හිමියන් වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තවත් භික්ෂුවක විසින් අභියාචනාධිකරණය හමුවේ අද (14) හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.

මහානාම හිමියන් ගේ භාරකාර හිමියන් වන කො ළඹ, මාලිගාවත්ත, සමාධි ධර්මායතනයේ  තංගල්ලේ ශාරද හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කළහ.

පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි,රාජගිරිය, මිරිහාන,තලංගම  යන පොලිස්ථානවල ස්ථානාධිපති වරු,සහ නීතිපතිවරයා  ඇතුළු  දස දෙනෙක් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කොතලාවල ජාතික  ආරක්ෂක  විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල  පාර්ලිමේන්තු මං සන්ධියේ ඉකුත් 08 පැවති  සාමකාමී  උද්ඝෝෂණයක් පැවැත්වුණු  බවත් , උද්ඝෝෂණයකට සහභාගිවෙමින් සිටියදී එහි කඩා වැදුණු   පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්  අත්අඩංගුවටගත්   මහානාම හිමියන් ඇතුළු පිරිසක්  පසුව අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇප මත මුදාහැරිය බව එහි දැක්වේ.

ඇප මත මුදා හැරීමෙන් පසුව  ඔවුන්  නිරෝධායන මධ්‍යස්ථානයක ට යොමු කිරීමට පොලීසිය විසින් කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කල බවද පෙත්සමෙහි  සදහන්  කර ඇත.

ඇප ලබා පිටව යන අවස්ථාවේදී  මග අවහිර කල පොලිස් නිලධාරීන්  මහානාම  හිමියන්  බලහත්කාරී ආකාරයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ   අතර මේ වනවිට මුලතිව් ගුවන් හමුදා මූලස්ථානයේ  රඳවා සිටින බවද පෙත්සම්කාර හිමිනම සිය පෙත්සමි කියා සිටයහ.

කොවිඩ් ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයා පවා නිවස තුළ නිරෝධායනයට ලක්කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ නිකුත්කර තිබියදී  උද්ඝෝෂණයකට සහභාගිවීම හේතුකරගෙන මහානාම හිමියන්  බලහත්කාරී ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමුකිරීමට පොලීසිය ගත් පියවර නීතියට පටහැනි බව  පෙත්සම් කාර හිමියන් පෙන්වා දෙති.

එබැවින් නීතිවිරෝධී ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින මහානාම හිමියන්  වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්  උන්වහන්සේ  නිදහස්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම මගින්  අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.