(ටී.කේ.ජී.කපිල )
පාස්කු දා ප්‍රහාරයත් සමඟ කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගත් බවත් එහිදී ගුවන් මගීන්ට 100% ක පහසුකම් සැලසීම අපහසු වී ඇති බැවින්, ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (10) කටුනායක ගුවන් තොටුපළේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් තොටුපළ සභාපතිවරයා, ගුවන් හමුදාව, යුද හමුදාව, පොලීසිය, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය බුද්ධි අංශ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළත් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ දැනුම අනුව නව ආරක්ෂක වැඩපිළිවෙළ සම්පාදනය කර ඇති බවත් කීය.
මෙහිදී මුලින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සිදු කෙරෙන අතර, දෙවනුව ගුවන් මගීන්ගේ පහසුකම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවද පැවසීය.
එහිදී මුලින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ පියවර රැසක් ගත් අතර ඒ නිසා ගුවන් මගීන්ට අපහසුතා ඇති වන බව තමා පිළිගන්නා බවද පැවසීය.
දෙවනුව ගුවන් යානා ප්‍රමාද වීම් සහ අවලංගු වීම් නොමැති වන ආකාරයට දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට අප කටයුතු කළා. මේ සඳහා ගුවන් තොටුපළ සේවකයින් කැපවීමෙන් තම සහයෝගය ලබා දුන්නා. ගුවන් තොටුපළට පිවිසීමේ දී අමතර ආරක්ෂක කටයුතු නිසා ඇතිවිය හැකි ප්‍රමාද වීම් අවම කිරීම සඳහා තම ගුවන් යානය පිටත්වීමට පැය 4 කට ගුවන් තොටුපළ වෙත මගීන්ට පැමිණ සිටින ලෙසද කළමනාකරණ ප්‍රධානීවරයා දැනුම් දුන්නේය .
මෙසේ ගුවන් තොටුපළ වෙත පිවිසෙන තනි තනි පුද්ගලයන් සහ කණ්ඩායම් වශයෙන් පැමිණෙන පිරිස් වෙන වෙනම මං තීරු ඔස්සේ රැගෙන විත් පරීක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී මගීන්ගේ ගමන් මලු සහ භාණ්ඩ පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය එක්ස් - කිරණ යන්ත්‍ර දිනක් වැනි කෙටි කාලයක් තුළ පිටත්වීමේ පර්යන්තයෙන් පිටත සවි කිරීමට කටයුතු කළ ගුවන් තොටුපළ ඉංජිනේරු අංශයේ සේවක පිරිස් වෙත කළමකාර ප්‍රධානීවරයා සිය ප්‍රසංශාව ප්‍රකාශ කළේය .
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග, එම සමාගමේ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න, ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි, කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් සේනක ප්‍රනාන්දු පුල්ලේ සහ ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.

COMMENTS
කටුනායක ගුවන් තොටුපල මගීන් සඳහා පහසුකම් ඉතා අඩු ගුවන් තොටුපලක් (සෑමදෙයකටම දිග පෝලිම් වල සිටීම, වැසිකිලි පහසුකම් අඩු, ආපනශාලා අඩු...). මා සිතන්නේ මත්තල වැනි අලුත් ගුවන් තොටුපළවල් සාදන්නට ප්‍රථම, කටුනායක පර්යන්ත ගොඩනැගිලි වැඩිදියුණු කළා නම් හොඳ බවයි.
ආරක්ෂක වැඩ පිළිවෙල හොඳයි. ඒ වුණාට මගීන්ට ඇතුළට යන්න ප්‍රවාහන සේවයක් තිබුණානං ගොඩක් හොඳයි. ලංකාවට පැමිණෙන මගීන් ට්‍රොලි තල්ලු කරගෙන එලියටම යන්න ඕනෑ. එ්ක කලිනුත් එහෙමයි. මේ පාරවත් නිවැරදි කරන්න... ස්තුතියි.
ලංකාව ඇතුළු ලෝකයේ සෑම ගුවන් තොටුපලකම බොහෝවිට ගුවන්යානා සමාගම්වලින් අයකරන ගාස්තු එක සමානයි. නමුත් බටහිර රටවල සේවක වැටුප ඉහළ මට්ටමක පවත්වාගෙන යන අතර පොදු පහසුකම්ද ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. ලංකාවේ සේවක වැටුපද අඩු අතර පොදු පහසුකම් වලටද වියදම් කරන්නේද නැත. අයකරන මුදල් හොර පාරේ යන බව ඉතා පැහැදිලිය.