ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ආණ්ඩුවේම කොටස් වෙතින් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව දියත් වූ ප්‍රහාරයට ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැවත රජයට පවරා ගැනීමට අමාත්‍යවරයා ගත් උත්සාහය හේතු වූයේ දැයි සැක පහළ වී තිබේ.

ඒ අනුව ඉන්ධන මිල මූලික කරගෙන ඇමතිවරයාට ඇමතිධුරයේ රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බව හඟවා ඔහුව එම ඇමතිධුරයෙන් ඉවත් කිරීමේ උත්හාසයක් මේ පිටුපට තිබෙන්නට ඉඩ ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති රණතුංග  ලියන දේශපාලනයේ හෙට දවස විශේෂාංගයෙන් අනාවරණය කර තිබේ.

එහි මෙසේ සඳහන් වෙයි,

තෙල් මිල වැඩි කිරීමෙත් සමග පොහොට්ටුවෙන් එල්ල වූ වාග් ප්‍රහාරයත් ඒ සමග විපක්ෂය ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු යම් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමත් ගම්මන්පිල ඇමතිවරයා ඛනිජ තෙල් සම්බන්ධ අමාත්‍යංශයෙන් එළවීමට දරන ප්‍රයත්නයක් ද යන්න ගැන සැක පහළ කරයි.

එයට හේතුව නම් දැනට ඉන්දියාවට බදු දී ඇති ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සමූහය යළි රජයට පවරා ගැනීමට ගම්මන්පිල ඇමතිවරයා ඉකුත් සමයේ දැරූ ප්‍රයත්නයයි. මෙම ප්‍රයත්නයත් සමග ඉන්දියාව සහ ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇතිවුණේය. ඉන්දීය විදේශ ඇමතිවරයා කඩිනමින් ලංකාවට පැමිණියේය.

මෙම තෙල් ටැංකි ආපසු ගැනීමක් ගැන මැතිවරණ ප්‍රකාශයේ සඳහන් නොවූ අතර මෙම නිසා ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් ඉන්දියාව හමුවේ අසීරුතාවයට පත්වූ බව එකල කියැවිණි. මේ නිසා එදා පටන් ඇමතිවරයාගේ තනතුර තිබුණේ යම් බලවතුන් පිරිසකගේ ක්‍රෝධයට ලක්වය.

එනිසා බොහෝ දුරට මෙම ප්‍රශ්නය අවසන් වනු ඇත්තේ ඇමතිවරයාට වෙනත් අමාත්‍යංශයක් භාරවීමෙනි. ඒ ගැන දැන ගන්නට ඉදිරි සති දෙක හොඳටම ප්‍රමාණවත්ය.^ යැයි එම විශේෂාංගයේ සටහන්වෙයි.