( තිලකරත්න දිසානායක සහ ඩයනා උදයංගනී)

කොවිඩ් - 19 රෝගීට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම ඉතා සාර්ථක බැවින් මේ වන විට දේශීය හා බටහිර ප්‍රතිකාර යටතේ සුවය ලැබීමෙන් පසුව විවිධ සංකූලතාවන් ඇති වුවහොත් ආයුර්වේදය යටතේ ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද යක්කලදී පැවසීය.

කොරෝනා රෝග තත්ත්වය සුවවීමෙන් පසුව සංකූලතා ඇති වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහලේ " පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් " ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය. විශේෂයෙන්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ගෙන යන වැඩපිළිවෙළ අතිශය සාර්ථකයි.

මේ නිසාම කොවිඩ් වැළඳී සුව විමෙන් පසු ඇති වන සංකූලතා වෙනුවෙන් ඉතා ශක්තිමත් ප්‍රතිකාර ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ පවතිනවා.  කොවිඩ් පසු සංකූලතාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම පිනිස මෙවන් ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවද සිසිර ජයකොඩි මහතා කීය.