(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

අමු කහ කිලෝවක මිල රුපියල් සියය දක්වා අඩුව ඇතත් කහකුඩු කිලෝවක මිල රුපියල් හය දහසක් බව පාරිභෝගිකයෝ මෙන්ම කහ වගාකරුවෝද මැසිවිලි නඟති.

අමු කහ කිලෝවක් රුපියල් 250.00 හා 300.00 වන මිලට පසුගිය දිනවල අලෙවිවෙමින් පැවති අතර මේ වනවිට එම මුදල රුපියල් 100.00 දක්වා පහල බැස ඇතැයි කහ වගාකරුවෝ සදහන් කරති.

කහ වගාවට ප්‍රසිද්ධ ගම්පහ දිසාවේ ගම්මානයක ව්‍යාපාරිකයෙන් කිලෝව රුපියල් සියය බැගින් ඕනෑ තරම් මිලදී ගන්නා බව කියන වගා කරුවෝ එම ව්‍යාපාරිකයා කහ කුඩු කිලෝවක් රුපියල් හය දහසක මුදලට අලෙවි කරමින් අධික ලාභයක් ලබන බවද පෙන්වා දෙති. මෙම ව්‍යාපාරිකයා ස්වයං රැකියා ආධාර යටතේ රජයේ අනුග්‍රහයෙන් ලබාගත් උපකරණ යොදා ගනිමින් මේ ආකාරයේ කටයුතු කිරීම ගැනද කහ වගාකරුවෝ තම විරෝධය පල කරති.

තම අස්වැන්න කූට ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට ඇති අවස්ථාව අහුරමින් රජය මැදිහත්ව අමුකහ මිලදී ගැනීමට පියවර ගන්නේ නම් මහත් සෙතක් ව බවත් එමගින් සාධාරණ මුදලකට පාරිභෝගිකයන්ට කහ කුඩු ලබා දීමේ අවස්ථාව සැලසිට හැකිවනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

කහ කුඩු සදහා පැවති මිල පාලනය ඉවත් කිරීම ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ව්‍යාපාරිකයන් කරගෙන යන කූට ජාවාරම් නතර කරන්නට වගකිවයුතු බලධාරීන් වහා පියවර ගත යුතු බවද කහ වගාකරුවෝ කියති.