(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද (5) වනවිට ඇතුළත් කරනු ලැබ සිටි කොවිඩ්  වැළඳුණු ළමයින්ගේ  සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස්  ඇතැයි එහි  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

මෙය සතියක් තුළ දෙගුණයක පමණ වැඩි වීමක් බවද  හෙතෙම සඳහන් කළේය.

ළමා රෝහලෙන් මුලින්ම  කොවිඩ්  ආසාදිත දරුවන් තිස් දෙනකු වාර්තාවී පසුව එය  ඉකුත් සතිය වනවිට  80 දක්වා වර්ධනයවූ බවත්  මේ වනවිට එය 150 දක්වා වර්ධනය වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කොවිඩ්  පැතිරීමේ බරපතළ තත්වය  බවත්විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
 
මේ තත්වය යටතේ  ළමා රෝහලේ ප්‍රතිකාර  ධාරිතාව  විශාල වශයෙන් අඩු වී ඇති බවත්  අමතර වාට්ටු දෙකක් මෙන්ම  හදිසි අනතුරු අංශයද කොවිඩ්  ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ‍ය.

ප්‍රතිකාර ධාරිතාව ඉක්මවා යෑම නිසා කොවිඩ්  ආසාදිත දරුවන් කොටස් වශයෙන්  ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයටද පිටත්කර යවන බව ඔහු පැවසුවේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය  නිසා  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව  මෙලෙස ඉහළ යන්නට ඇතැයි සැක කරන බවද
පවතින තත්වය යටතේ  දරුවන් උපරිම වශයෙන් රැකබලා ගැනීමට කටයුතු කරන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත්  විශේෂඥ වෛද්‍යවරයා  කීවේය.

දරුවන්ට  කොරෝනා  මර්දන එන්නත ලබා නොදෙන හෙයින් ඔවුනට කොවිඩ්  සමග විවිධ සංකූලතාද  උත්සන්න විය හැකි බව  පැවසූ  දීපාල් පෙරේරා මහතා  අමාරු තත්වයේ සිටින දරුවන්  ළමා රෝහලේම රඳවා ගෙන ප්‍රතිකාර ලබාදීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද  ගන්නා බවද  ප්‍රකාශ කළේය.