(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (08) පැවති බව තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල 46 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන යෝජනාව සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව දැනට සිදු කරමින් යන ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා කැනඩා මහකොමසාරිස්වරයා සමග කරුණු සාකච්ඡා කර ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

නමුත් ඒ සම්බන්ධයෙන් ධනාත්මක කරුණු දෙපාර්ශවය අතර සාකච්ඡා වී නැතැයි ද එම තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධව එම කවුන්සිලය නියෝජනය කරන මුස්ලිම් රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට පකිස්තානය ඉදිරිපත් වී ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන පෙබරවාරි මාස අගදි ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව පසුගියදා ප්‍රකාශයට පත් විය.

කෝවිඩ්-19 වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින මානව හිමිකම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මේ වන විටත් බ්‍රිතාන්‍ය රජයේ දැඩි අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, ලංකාවේ පවතින තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය රජය ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දෙනු ඇතැයි ඇය සිට ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ 46 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියට එවැනි  යෝජනාවක් ඉදිරිපත් වූවහොත්, ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් හෝ විරෝධය පළකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව මේ වන විටත් තීරණය කර ඇති බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.