(ඩයනා උදයංගනී)

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතෙහි එන විශ්ව විද්‍යාල පාලක සභාවල බහුතරය සිවිල් සාමාජිකයන් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

මෙම පනත අධ්‍යයනය කර ඊට ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත්කළ කමිටුවේ වාර්තාව අද (3) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට භාර දුන් අතර එම වාර්තාවේ මේ බව දැක්වේ.

ඊට අමතරව ජෙනරාග් ශ්‍රීමත් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් හා පාලනයෙන් බැහැර නොකිරීම, මේ සඳහා ආරක්‍ෂක අංශයේ නිලධාරීන් නොවන සිසුන් ඇතුළත් කරගැනීමේදී ඉසෙඩ් අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමවේදයක් පනතට ඇතුළත් කිරීම, මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබීමට ගාස්තුවක් ගෙවීමට සිදුවන බැවින් දරුවන්ට රැකියාවක් කරමින් උපයන ආදායමකින් ගෙවීමේ පදනම මත ණය ක්‍රමයක් ලබාදීම යන යෝජනා ද මෙයට ඇතුළත් කර ඇත.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා පක්‍ෂ තරුණ පෙරමුණ හා උපාධිධාරී සංගමයේ සාමාජිකයක්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා පවත්වා මෙම යෝජනා ඇතුළත් වාර්තාව සකස් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

මෙහි ඇති යෝජනා සංශෝධන ලෙස අදාළ පනතට ඇතුළත් වනු ඇතැයි විශ්වාස කරන බව එම පක්‍ෂය සඳහන් කරයි.