
පාකිස්තානය තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ විදේශීය මාධ්‍ය සඳහා තොරතුරු සපයන විදෙස් මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ කටයුතු සම්බන්ධයෙන් දැඩි නීති සහ සීමා පැනවීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.
රජය ගත් මෙම පියවර, මේ වනවිට ජාත්‍යන්තර හා දේශීය මාධ්‍ය සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, එමගින් පාකිස්තානය තුළ ඉතිරිව ඇති මාධ්‍ය නිදහස තවදුරටත් අඩපණ වන බවට චෝදනා එල්ල වෙමින් පවතී.
මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ දැනට රටවල් 180 ක් අතුරින් 153 වන ස්ථානයේ පාකිස්තානය පසුවෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ විදේශීය මාධ්‍ය සඳහා තොරතුරු සපයන විදෙස් මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ කටයුතු සම්බන්ධයෙන් නීති සහ සීමා පැනවීමත් සමග මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ පාකිස්තානය තව දුරටත් පහළ යනු ඇතැයි පැවැසෙයි.
නව නීති සහ සීමාවලට අනුව, විදේශීය මාධ්‍ය වෙනුවෙන් සේවය කරන පාකිස්තාන ජාතිකයන් ඇතුළු ඕනෑම මාධ්‍යවේදියකුට ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් යන ප්‍රධාන නගර තුනෙන් පිටත ප්‍රදේශවල සිට පුවත් වාර්තා කිරීම සිදු කරන්නේ නම්, ඒ සඳහා බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වෙයි.
‘විදේශීය මාධ්‍ය පහසුකම් සැලසීමේ මාර්ගෝපදේශ’ ලෙස මෙම නව නීති සහ සීමා නම් කර ඇති බව ද පැවැසෙයි.
පාකිස්තාන රජය අවධාරණය කර ඇත්තේ මෙය මාධ්‍ය මර්දනයක් හෝ මාධ්‍යවේදීන් අපහසුතාවට පත් කිරීමට ගත් පියවරක් නොව, මාධ්‍යවේදීන්ගේ තොරතුරු තහවුරු කරගැනීම සහ පරිපාලනමය පහසුව සඳහා හඳුන්වා දෙන යාන්ත්‍රණයක් පමණක් බවය.
එසේම, ජාතික ආරක්ෂාව, රාජ්‍ය ස්වෛරීභාවය හෝ මහජන අනුක්‍රමයට හානි වන අයුරින් කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය පිළිගැනීම අහෝසි කිරීමට ද මෙමගින් බලය හිමිවනු ඇතැයි ද පාකිස්තාන රජය වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd