(ඩයනා උදයංගනී)

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතෙහි කළ යුතු සංශෝධන ඇත්නම් ඒ සියලු සංශෝධන ගෙනඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොරොන්දු වූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසීය.

ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම පනත හා සම්බන්ධ සියලු මතවාදවලට ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන මතය ගරු කරන ආණ්ඩුවක් ලෙස ඇහුම්කන් දෙන බව ද ඇමතිවරයා කීවේය.

ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කොතලාවල පනතට හවුල්කාර පක්ෂවල සහය ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය 2007 වසරේ පිහිටවූ එකක් බව කී ඇමතිවරයා ඊට අදාළව ඇති පනත් කෙටුම්පත් සියල්ල එක්කර එක් පනතක් කිරීම මෙම නව පනත මගින් සිදුවන බවත් ඒ ගැන ඉතා ඵලදායී හා විධිමත් සාකච්ඡාවක් සිදුවන බවත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන ලෙස මෙම පනත සම්මත කිරීමට අප රජයක් ලෙස වගබලාගන්නා බව ද රමේෂ් පතිරණ මහතා පැවසීය.