( තිළිණි ද සිල්වා )
 
ඇමරිකාවේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස  හිටපු අගවිනිසුරුවරයකු  වන ජනාධිපති නීතීඥ , ආචාර්ය මොහාන් පීරිස් මහතා රජය විසින් පත් කරනු ලැබ ඇත.

එම ධූරයේ කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ලබන ඔක්තෝබර් මාසයේ සිට නැවත විදේශ සබදතා අමාත්‍යාංශයට කැඳවා ඇති බැවින් පුරප්පාඩු වූ එම ධූරයට මොහාන් පීරිස් මහතා නම් කළ බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. මෙම පත් කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම මේවන විට උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇති අතර අනුමැතීන් ලැබුණු වහාම මොහාන් පීරිස් මහතා  එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයිද එම ආරංචි වැඩිදුරටත් කියා සිටී.

 
මේවන විට නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයේ කටයුතු කරන ෂෙනුකා සෙනවිරත්න මහත්මිය රජයේ විශ්‍රාම වයස් සීමාව වන අවුරුදු 60 ඉක්මවා ඇති හෙයින් විදේශ අමාත්‍යාංශයට නැවත කැඳවනු ලැබ ඇත.
 
නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස අලුතින් පත් කරනු ලැබ සිටින මොහාන් පීරිස් මහතා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ රෝයල් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ. නීතීය පිළිබඳ  මොහාන් පීරිස් මහතා 1975 වසරේදී නීතීඥ වෘත්තීයට පිවිස ඇති අතර 1981 දී ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතීඥවරයකු ලෙස ද සේවය කළේය. ඉන්පසුව 1996 දී එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වූ හෙතෙම පෞද්ගලික නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කළේය.
 
2008 සහ 2011 දක්වා කාලය තුළ නීතිපතිවරයා ලෙසද , 2013 සිට 2015 දක්වා අගවිනිසුරු ධූරයේ ද කටයුතු කරනු ලැබීය. මීට අමතරව පීරිස් මහතා 2011 වසරේදී කැබිනට් මණ්ඩලේ ප්‍රධාන නීතී උපදේශකවරයා වශයෙන් ද , 2012 වසරේදී හා සෙලාන් බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.