(මනෝප්‍රිය ගුණසේකර)
 
ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමේ දීරජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධී බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (15) තීරණය කළේය.
 
අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරු තිදෙනාගේම ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා මෙම තීන්දුවේ පිටපතක් වහාම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට යැවීමටද නියම කළේය.
 
2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් තුළ ස.තො.ස. සේවකයන් 45 දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානවල රාජකාරි කටයුතු වලින් පරිබාහිරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදා ගෙන ඇති බවටත් රාජකාරි නොකළ සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස මුදල් ගෙවීමෙන්  රජයට රුපියල් ලක්‍ෂ 400 ක මුදලක් පාඩු කොට ඇති බවද අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර ඇත.
 
අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදු කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
 
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ස.තො.ස. හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු හා එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක කාජා මොහිදීන් මොහොමඩ් සාකීර් නමැත්තන්ද එරෙහිවද අල්ලස් කොමිසම මෙම නඩුවෙන් චෝදනා ඉදිරිපත් කර තිබිණි.
 
අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් පසුව මෙම නඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග කිරීමට සුදානම් වු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මුලික විරෝධතාවයක් මතු කරමින් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරු තිදෙනාගේම ලිඛිත අවසරයකින් තොරව වන හෙයින් මෙම නඩුව එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කෙරිණි.