IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


බලශක්ති අර්බුදයට තිරසර විසඳුම

පරිසරය සම්බන්ධයෙන් වූ පැරිස් සම්මුතියට රටවල් 196ක් අස්සන් කර ඇති අතර, ශ්‍රී ලංකාව ද එහි පාර්ශවකරුවෙකි. සම්මුතියට එකඟ වීමෙන් පසු 2016 නොවැම්බර් 4 වැනිදා එය අපරානුමත කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා රජය එය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. ගෝලීය උෂ්ණත්වය අවම කරගැනීම සඳහා දරන මෙම සාමූහික වෑයමේදී ප්‍රධාන උපක්‍රමයක් වන්නේ පුනර්ජනනීය බලශක්තිය භාවිතයයි. ශ්‍රී ලංකාව රටක් හැටියට පැරිස් සම්මුතියට අනුව ක්‍රියා කළ යුත්තේ එය ජාත්‍යන්තර බන්ධනයක් නිසාම නොවේ. ඉන්දියානු සාගරයේ පිහිටි දූපතක් හැටියට අප ද දේශගුණික විපර්යාසවල ගොදුරක් වී ඇති බැවිනි.

නිදසුනක් හැටියට මෑත කාලයේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්ව දැක්විය හැකිය. එහෙත් අදටත් සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව වූ ගල් අඟුරු හා තෙල් ආදියේ අවශ්‍යතාව ගැනම විවාද කරමින් රට ආපස්සට අදින සාකච්ඡා ද දකින්නට ලැබේ. එය ඉතා කනගාටුදායකය. ගල් අඟුරු සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් ඉදිරිපත් කරන තර්ක සත්‍යයෙන් තොරය. නිදසුනකට ඔවුන් මින් පෙර පවසමින් සිටියේ, චීනය, ජපානය වැනි කාර්මික රටවල තවමත් ගල් අඟුරු මගින් විදුලිය නිෂ්පාදනය කරන බවය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවෙමින් තිබෙන්නේ එම රටවල් ද මේ වනවිට ගල් අඟුරු භාවිතයෙන් ඈත් වෙමින් සිටීමය. ඔවුහු ඒ සඳහා සංකේතාත්මක ලෙස සෙසු රටවල් ද දිරිගන්වති. නිදසුනකට අවසන් වරට පැවැති ඔලිම්පික් උත්සවයේදී ජපානය පැවැසුවේ, ඊට මුළුමනින්ම විදුලි බලය ලබාදෙන්නේ පුනර්ජනනීය බලශක්තියෙන් කියාය. සූර්ය පැනල සඳහා අවකාශය භාවිතයේදී ජපාන සැලසුම් කවරාකාරදැයි විමසීමට ජපානයේ දුම්රිය මග දෙපස පමණක් බැලීම ප්‍රමාණවත්ය.

විදුලි බල උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් හැටියට ලංකාවට වඩාත් පහසු වන්නේ සූර්ය පැනල භාවිතයයි. එහිදී දිය මත පාවෙන සූර්ය පැනල විශේෂඥයන්ගේ වැඩි අවධානයට ලක්ව තිබේ. ඊට හේතුව නම් ලංකාවේ පවතින පාරිසරික තත්ත්වය හා සමාජ තත්ත්වයයි. සංවර්ධන කටයුතුවලදී ඉඩම් ලබාගැනීම අද වනවිට ලංකාවේ මෙන්ම ලෝකයේ ද ප්‍රධාන ප්‍රශ්නයකි. හම්බන්තොට, යාපනය ආදී කවර පෙදෙසකින් සූර්ය පැනල පිටියක් ඉදිකිරීමට ඉඩම් අත්පත් කරගැනීමක් වුවහොත් නිසැකයෙන්ම කැලෑ කැපීමට සිදු වේ. වන ඝනත්වය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති ලංකාවේදී එය නැවතත් අත වනන්නේ පරිසර ප්‍රශ්නයකටය.

අනෙක් අතට පවතින සීමිත ඉඩම් ප්‍රමාණය කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වේ. දිය මත පාවෙන සූර්ය පැනල විසින් මෙම ප්‍රශ්නවලට එකවර විසඳුමක් දෙනු ලැබේ. ලංකාවේ පවතින දහස් ගණනක් වූ වැව් හා ජලාශ යනු රාජ්‍ය දේපළකි. මේවා පහසුවෙන් ඒ සඳහා භාවිත කළ හැකි අතර, සූර්ය පැනල සවි කිරීමට කැලෑ කැපීමට හෝ ගොඩ ඉඩම් සුද්ධ කිරීමට එයින් සිදුවන්නේ නැත.

වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ වැනි ජලාශ ද්විත්ව බලශක්ති ප්‍රභව බවට මෙයින් පත් වේ. එවිට දිවා කාලයේදී ජලාශයේ පාවෙන සූර්ය පැනල මගින් ද රාත්‍රී කාලයේදී ජලය මගින් ද විදුලිය උත්පාදනය සිදු වේ.

දැනට ලංකාවේ ආයතන හා පුද්ගලයන් වශයෙන් බලශක්ති පාරිභෝගිකයෝ ලක්ෂ හැටක් පමණ සිටිති. එපමණ සංඛ්‍යාවක් අතරෙන් තවමත් ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවි කර තිබෙන්නේ 32,000ක් වැනි සුළු පිරිසකි. මෙය දැනට අපට යා හැකි දුරෙන් ඉතා කෙටි ජයකි.

අඩුම තරමෙන් ලක්ෂ දහයක් වැනි ඉලක්කයකට මෙය ගෙන යා හැකිය. නිවසකින් කිලෝවොට් තුනක බලයක් දුන්නොත් එය ගිගාවොට් තුනක ජාතික දායකත්වයක් වනු ඇත. එය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇති ආර්ථික අර්බුදයට විශාල සහනශීලී පියවරක් ද වනු ඇත. මේ වනවිට ව්‍යවසායකයන්, ආනයනකරුවන් මෙන්ම විවිධ ව්‍යාපාරික කණ්ඩායම් මුහුණ පා ඇති ප්‍රශ්නය නම් ඩොලර් හිඟයයි. එවැනි විටෙක රුපියල අවප්‍රමාණය වන වේගයට ගල් අඟුරු හෝ තෙල් නැවක් ආනයනයට කොතරම් ඩොලර් ප්‍රමාණයක් වැය වන්නේ ද? මෙය ජාතික ආර්ථිකයට මරු පහරකි. එවැනි තත්ත්වයක සූර්ය පැනල ප්‍රවර්ධනයෙන් ඩොලර් ඉතිරි කරගැනීමට පමණක් නොව ගෘහස්ථ පාරිභෝගිකයා විදුලි නිෂ්පාදකයෙක් බවට ද පත්වනු ඇත. සිය නිවසේ සූර්ය පැනලය මගින් නිෂ්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමෙන් සාමාන්‍ය ජනයාගේ අතට ද එමගින් මුදලක් ලැබේ.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ගෝලීය පරිමාණයෙන් හටගෙන ඇති උනන්දුව ද ලංකාවට රටක් හැටියට හොඳ පාඩමකි. ඊට හොඳම නිදසුන අපට වැඩිදුර නොගොස් අසල්වැසි ඉන්දියාවෙන්ම ගත හැකිය. 2015 දී පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී එයි.එස්.ඒ. හෙවත් ජාත්‍යන්තර සූර්යබල සන්ධානය නිර්මාණය වූයේ ප්‍රංශයේ හිටපු අගමැති ෆ්‍රැන්සිස් හොලන්ඩේ හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකතු වීමෙනි. මේ ගැන විශාල උනන්දුවකින් කටයුතු කළ ඉන්දියාව ප්‍රංශය හා එක්ව 2018 දී ඩොලර් බිලියන දෙකක ඉලක්කගත සූර්ය පැනල ව්‍යාපෘතියකට අත තැබීය. සංවර්ධනය වෙමින් පවතින රටවල පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ද ප්‍රතිලාභ හිමි වේ. මෙම ගෝලීය තත්ත්ව සමාලෝචනයෙන් කරුණු සහිතව අප පැවැති ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සූර්ය බල ශක්තිය සඳහා යෑමට මේවා අවස්ථා කරගත යුතු බවය.

 හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් විෂය භාර රාජ්‍ය ඇමැතිවරයාව සිටි අජිත් පෙරේරා මහතා ද මැදිහත් වී කමිටුවක් පත්කෙරුණේ ඒ අනුවය. එහි ආරම්භක ව්‍යාපෘතිය හැටියට ලංකා පාර්ලිමේන්තුවේ විදුලි අවශ්‍යතාව සූර්ය බල ශක්තියෙන් සම්පාදනය කරගැනීමට සාකච්ඡා විය. එහෙත් ප්‍රාමාණිකයන්ගේ උපදෙස් ගන්නා තැනදී සාකච්ඡාව ඉදිරියට යා නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. ව්‍යාපෘතියට බාධා පැමිණියේ පාර්ලිමේන්තුවේ ගෘහනිර්මාණයේ පෙනුමට, බාහිර අලංකරණයට එයින් බලපෑම් ඇතිවේය වැනි කිසිදු පදනමක් නැති තර්කවලිනි. එහෙත් ගෝලීය යථාර්ථය සමග සැසඳීමේදී මේවා හාස්‍යජනක කතාය.

මුළුමනින්ම පුනර්ජනනීය බලශක්තිය පරිභෝජනය කරන පළමු පාර්ලිමේන්තුව බවට පාකිස්තානු පාර්ලිමේන්තුව පත්වූයේ 2016 දීය. ආසියානු රටක් හැටියට ලොව තැබූ එම සලකුණ සෙසු රටවලට ආදර්ශයක් වූ අතර බලශක්ති විද්‍යාඥයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ කරුණක් ද විය. මෙගාවොට් 80ක සූර්ය පැනල බලශක්තියක් උත්පාදනය කළ ද පාකිස්තානු පාර්ලිමේන්තුවට එයින් අවශ්‍ය වන්නේ මෙගාවොට් 62කි. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විදුලි උත්පාදනයක් එතැන සිදුවන අතර ඉතිරි මෙගාවොට් 18 ඔවුහු ජාතික පද්ධතියට එකතු කරති. රටේ නීති සම්පාදන ආයතනය වන ව්‍යවස්ථාදායකය අනුගමනය කළ මෙම පියවර පාකිස්තානයට පමණක් නොව මුළු ලෝකයටම දුන් විසල් ආදර්ශයකි.

මෙම පාකිස්තානු ආදර්ශය සමීපව අපි නිරීක්ෂණය කළ අතර, එම කරුණු ද පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කළෙමු. එහෙත් ගෝලීය යථාර්ථයට වඩා බලශක්ති මාෆියාව ලංකාවේදී ප්‍රබල විය. ඉන්දියාව, පාකිස්තානය ආදී ආසියාවෙන් ඔබ්බට යද්දී මෙය තවත් ඉදිරිගාමීය. නිදසුනකට නවසීලන්තය වැනි රටවල් පුනර්ජනනීය බලශක්තියට තවත් ආධාරකයක් වශයෙන් සිය පාර්ලිමේන්තුව සඳහා එල්.ඊ.ඩී. බල්බ සඳහා ද යොමු විය. පාර්ලිමේන්තුව අයිති මහජනයාට යැයි ද එහි සියලු මුදල් මහජනයා වෙනුවෙන් හැකි උපරිමයෙන් අරපරෙස්සම් කළ යුතු යැයි ද ඔවුහු පවසති. නවසීලන්තය යනු මානව ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දෙන රටකි. එසේ ඉතිරි කරගන්නා මුදල් ඔවුන් යොදාගන්නේ මහජන සෞඛ්‍යයට, අධ්‍යාපනයට, පොදු ප්‍රවාහනයට අදාළ පර් යේෂණ සඳහාය. ඒ අර්ථයෙන් බලද්දී ලංකාව තවමත් සිටින්නේ කොතැන ද කියා අපම සිතා බැලිය යුතුය.

මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වූයේ, 2030 වනවිට රට උපරිමයෙන් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනයට යොමු කරන බවයි. එය ඉතා හොඳ ප්‍රතිපත්තිමය එළැඹුමකි. එහෙත් මුලදී සියයට 80ක පංගුවක් හැටියට අදහස් කළ මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පසුගිය අයවැයේදී සියයට70 දක්වා අඩු වීම කනගාටුවට කරුණකි. ආණ්ඩුව ආරම්භයේදී කීවේ රටේ බලශක්ති සැලසුම පුනර්ජනනීය බලශක්තිය මත සකස් කරන බවයි. ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 200ක ණය ආධාරයෙන් මන්නාරමේ තම්බපවනි සුළං විදුලි බලාගාරය සම්පූර්ණ කිරීම එහි හොඳ පියවරකි. මෙගාවොට් 103.5ක් උත්පාදනය වන මෙමගින් වාර්ෂිකව ඒකක ලක්ෂ 4,000ක් සපයාගත හැකි යැයි විශ්වාස කෙරේ. මෙහි විදුලි ඒකකයක පිරිවැය රුපියල් 8කි. එය ඛනිජ තෙල් හා සැසඳීමේදී විශාල මුදල් ඉතිරියකි. එහෙත් මේ අතරේ නැවතත් ගල් අඟුරු බලාගාරයක් ගැන සාකච්ඡාවක් ද යයි. මට හිතෙන්නේ ආණ්ඩුව මෙවැනි වෑයම් මගින් නැවතත් ක්ෂණික විසඳුම් සඳහා යොමුවන බවයි. එයින් නැවතත් සිදුවනු ඇත්තේ විදුලි මාෆියාවේ නිරතවූවන්ට වාසි සැලැසීමය.

ගල් අඟුරු බලාගාරවලින් ඉවත් වෙමින් යන ලෝක ප්‍රවණතාව හමුවේ මෙවැනි පියවරවලට බර තබන්නේ කවුදැයි අපි දැනගත යුතුය. ගල් අඟුරු සැපැයුමේ දැවැන්තයකු වන ඕස්ට්‍රේලියාව පවා සිය බලශක්තිය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ඊට කදිම නිදසුනකි. මහා පරිමාණයෙන් ඇතිවන ලැව් ගිනි හරහා තාක්ෂණික අවුලේම ප්‍රතිඵලයක් ලෙස බැටකෑම විසින් එම රටවල දෑස් විවර කරනු ලැබ තිබේ.

ඕස්ට්‍රේලියාව වැනි මහාද්වීපයක් එසේ කලබල වෙද්දී ලංකාව වැනි පුංචි දූපතක් කෙතරම් ඒ ගැන වද විය යුතු ද? සැබැවින්ම බලශක්තිය සම්බන්ධයෙන් ලංකාවේ ඇත්තේ ද මාෆියාවකි. ගල් අඟුරු හෝ බොර තෙල් ගනුදෙනුවලදී හුවමාරු වන මුදල රුපියල් කෝටි ගණනකි. එවැනි එක් ගනුදෙනුවක් යනුම විශාල පද්ධතියකි. විවිධ අර්ථකථන හා පැහැදිලි කිරීම් මැද විදේශීය සමාගම් සමග ව්‍යාකූල කරගත හැකි ගල් අඟුරු හා තෙල් ගනුදෙනු හා ගත් කල සූර්ය බල ශක්තිය වැනි ව්‍යාපෘති පැහැදිලිය. ඒවායෙන් කොමිස් ලබාගැනීමට ඇති හැකියාව අඩුය. ප්‍රතිලාභය මහජනයාට මිස අතරමැදියන්ට නොවේ.

පුනර්ජනනීය බලශක්තියට මාරු වෙන තැනදී ලංකා විදුලිබල මණ්ඩලයට ඇත්තේ විශාල වගකීමකි.

විශේෂයෙන්ම බාධාවකින් තොරව විදුලිය සැපැයීම සඳහා ලංකාවේ දැනට පවතින සාම්ප්‍රදායික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වෙනුවට වඩාත් කාර්යක්ෂම සම්ප්‍රේෂණ පද්ධතියක් හා බලාගාර කළමනාකරණයක් අවශ්‍ය වේ. මේ ක්‍රියාවලියේදී ලංකා විදුලිබල මණ්ඩලය දෙකට දෙවාරේට හිටියොත් කාර්ය සඵල වන්නේ නැත. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද මේ කරුණු මනාව හඳුනාගෙන අවධාරණය කර ඇත. සැක සංකා මතුවන්නේ ක්‍රියාවලිය ඉදිරියට දියත් වන ආකාරය අනුවය. එනිසා පුනර්ජනනීය බලශක්ති ක්‍රියාවලිය හොඳ සාකච්ඡාවකින් ඉදිරියට යාම ද අවශ්‍යය. සැබැවින්ම මෙය රටකට තනිව කළ හැකි දෙයක් නොවේ. ඊට ජාත්‍යන්තර සහාය අවශ්‍යය. මෙවැනි වැඩ සඳහා ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් අඩු පොලී ණය ලබාගත හැකිය. පැරිස් එකඟතාව කඩ කෙරෙන ගල් අඟුරු සඳහා ජාත්‍යන්තරයෙන් එවැනි සහායක් ලැබෙන්නේ නැත.

අවාසනාවට ලංකා විදුලිබල මණ්ඩලය සමස්තයක් වශයෙන් මෙම පුනර්ජනන බලශක්ති වැඩපිළිවෙළට දක්වන්නේ දුර්වල උනන්දුවකි. එනිසා මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නම් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු විදුලි ඉංජිනේරුවන්ගේ ලෝක දැක්ම ද වෙනස් වීම අත්‍යවශ්‍ය යැයි මම සිතමි. වෘත්තිකයන්ට සේවකයන්ට ඇති වෘත්තීය අයිතිවාසිකම් සේවයට සරිලන වැටුප් සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැත. එහෙත් වෘත්තීය සමිති මගින් කේවල් කරන්නන්ට සිය සේවයෙන් කොතරම් රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබී තිබේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ද හැකියාවක් තිබිය යුතුය. ලංකා විදුලිබල මණ්ඩලයම පවසන ආකාරයට ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාව ඒකක ලක්ෂ 400කි. එයින් තුනෙන් එකක් පමණ ගල් අඟුරුවලින් සපයා ගනිද්දී වාර්ෂික විදුලි ඉල්ලුමේ වර්ධනය සියයට 5කි. දශක දෙකක් ඇතුළත ලංකාවේ විදුලිබල අවශ්‍යතාව ගොගාවොට් 11,000ක් දක්වා වර්ධනය වීමට නියමිතය. වැඩි වන විදුලි ඉල්ලුම ගැන ඒ අනුව අපට අදහසක් ඇති කරගත හැකිය. එනිසා පෙර සඳහන් කළ පරිදිම විදුලිබල මණ්ඩලයට ආවේණික යටිතල පහසුකම්වල දුර්වලතා මගහැර ගනිමින් මෙම සාකච්ඡාවට දායක වීම ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය පැත්තෙන් විය යුතුම දෙයකි. රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙළකට ජාත්‍යන්තරව ලැබෙන සහායක් මගින් එය යථාර්ථයක් කරගැනීම එවිට අපහසු නැත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (7)

බලශක්ති අර්බුදයට තිරසර විසඳුම

Mangala Monday, 18 October 2021 12:02 PM

මම kw25 ක පද්ධතියක් දාන්න සැලසුම් කරලා මුලින්ම kw25 ක ඉනවර්ටරයකුයි, kw5 ක පැනල් ප්‍රමාණයයි සෙට් කරලා විදුලි බල මණ්ඩලේට දැනුම් දුන්නාම විදුලි ඉංජිනේරු තැන ඇවිත් පරීක්ෂණ කරලා කිව්වා පාස් කරන්න බැහැ පාරිසරික ටෙස්ට් එක පාස් නැහැ.. තව kw10 ක පැනල් දාන්න කියලා. මම කිව්වා මට මේ වෙලාවේ සල්ලි නැහැ නමුත් මම මාස 6ක් ඇතුලත kw 25 ම සම්පූර්ණ කරනවා ඒ නිසා මේකට අවසර දෙන්න කියලා. කිසිම බුරුලක් පෙන්නුවේ නැහැ. මට හොඳටම තේරුණා මේ සෝලාපැනල් වලට ඒ ගොල්ලන්ගේ තියෙන විරෝධය. වැඩේ නොකෙරෙන තැනටම තමයි ගෙනිච්චේ... මම මේ සෝලා සෙට් එක ගැහුවේ මගේ ඉඩමේ වැස්සට යටවෙන තැනක. මම මාස 6ක් මේ සෙට් එක නිකන්ම තියාගෙන ඉඳලා ඉතුරු පැනල් දාන්න ගියාම කියනවා වහලයක් උඩ මිසක් බිම දෙන්නේ නැහැ කියලා...

:       2       14

mangala Monday, 18 October 2021 12:06 PM

අන්තිමට, kw25 ඉන්වර්ටරය ආපහු දීලා kw5 ක එකක් දාලා යන්තම් පාස් කරගත්තා. නමුත් kw25 ක් හෝ 50ක් දාන්න පුලුවන් බිම් ප්‍රමාණයක් තවම තියෙනවා. ඒ බිම කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ යලට මහට දෙකටම යටවෙනවා. වතුරට යට වුන ෆොටෝ පෙන්නලා මොනවා කිව්වත් වැඩේ නොකරන්න තමා විදුලි බල මණ්ඩලේ වැඩ.

:       0       12

Athula Perera Monday, 18 October 2021 08:46 PM

හොඳ විස්තරාත්මක ලිපියක්...

:       0       8

Ramani De Alvis Tuesday, 19 October 2021 05:53 PM

සූර්ය බලය ලබා ගැනීමට ඔබ පාර්ලිමේන්තුව ආරම්භ කිරීම හොඳයි. හොඳම දේ බලාපොරොත්තුවෙන්!

:       0       4

R.A.Rikesha Akarji Friday, 20 May 2022 04:40 PM

ඇත්තටම මේ කරුණු ගොඩාක් වැදගත් දෙයක් වෙනවා. මම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මෙයින් අදහස් බොහෝ ගෙන රචනාවක් ලිවීම කැමැත්තෙමි.

:       0       6

සුදර්ශන රණසිංහ Sunday, 14 August 2022 05:51 PM

ඉතාමත් වටිනා ලිපියකි

:       0       4

Yethum Tuesday, 14 May 2024 08:43 AM

චන්ද්‍රකෝෂය ක්‍රමය අත්හදා බැලූ රට ගැන කියන්න පුලුවන් ද

:       0       0

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

ශ්‍රී ලංකාවේ නීතියේ බලය ක්‍රියාත්මකද?
2024 ජුලි මස 08 283 0

දිවංගත එච්.එල්. ද සිල්වා අනුස්මරණ සඳහා මීට දොළොස් වසකට පෙර කොළඹ පැවති උත්සවයක මුලසුන හොබවමින් හිටපු විදේශ ලේකම් එච්.එම්.ජී.එස්. පළිහක්කාර වටිනා අදහස් කී


ආර්ථික වර්ධනයේ සුබ ලකුණු
2024 ජුලි මස 01 490 0

විදේශීය ණය කොටස් තුනකි. එනම්, බහුපාර්ශ්වීය, ද්වීපාර්ශ්වීය සහ වාණිජ ණය වශයෙනි. බහුපාර්ශ්වීය ණය එනම්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූලාශ්‍ර


අර්බුද විසඳීමට සම්මුති අවශ්‍යතාව
2024 ජුනි මස 24 248 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආන්


මෝදිගෙන් ගතයුතු පාඩම්
2024 ජුනි මස 17 690 0

ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය, දෙවතාවක් අගමැති ධුරය හෙබවූ නරේන්ද්‍ර මෝදි හා නේරු පවුලේ බලයේ උරුමකරු වූ රාහුල් ගාන්ධි යන ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම කනස්


ඉන්දීය ඡන්දයේ සංඥාව
2024 ජුනි මස 10 688 2

ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ල


ශ්‍රී ලංකාවේ පක්ෂවල දිශානතිය
2024 ජුනි මස 03 409 2

නිශ්චිත දේශපාලන සහ ආර්ථික මතවාදයක් මගින් ඕනෑම දේශපාලන පක්‍ෂයක ප්‍රතිපත්තිමය අනන්‍යතාව තීරණය වේ. එසේ ප්‍රතිපත්තිමය අනන්‍යතාවක් නොමැති දේශපාලන පක්‍ෂ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 10 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 914 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site