(තිලකරත්න දිසානායක)
ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් පරීක්ෂාවන් කිරීමට පියවර ගෙන ඇති අතර වැඩි මිලට අලෙවි කිරීම් සම්බන්ධයෙන් 1977 අංකයට දැනුම් දෙන ලෙසට පාරිභෝගිකයින්ට දැනුම්දී සිටී.
පවතින ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් ජනතාව අතරට ගොස් ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී ඇතැම් වෙළඳුන් අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට පාරිභෝගිකයින් ගෙන් ලැබෙන පැමිණිලි මත මෙසේ පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා සදහන් කරයි.
විමර්ශන ඒකකය මගින් අද (5) දිනයේ ගම්පහ, අත්තනගල්ල, නිට්ටඹුව සහ පස්යාල යන ප්‍රදේශයන්හිදී පරීක්ෂාවන් සිදු කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් වෙළඳුන් දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඉදිරියේදී වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බවත් විමර්ශන ප්‍රධානී වරයා කීය.
පරිප්පු කිලෝවක් රුපියල් 65 ක් , සැමන් (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 100 ක් සහ බී ලුනු කිලෝවක් රුපියල් 150 ක් වශයෙන් පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් ජංගම රථ වෙළඳුන් විසින් පරිප්පු කිලෝවක් රුපියල් 240 ක්, බී ලුනු කිලෝවක් රුපියල් 200 ක් වැනි මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට පාරිභෝගිකයින් විසින් පැමිණිලි කර තිබු බව විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසූ අතර පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් අදාල ජංගම අලෙවි රථයේ ලියාපදිංචි අංකයද සමග 1977 යන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවද කීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳ රථ පරීක්ෂාවට ලක් කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, දිලීප කරුණාරත්න, අරුණ ශාන්ත, ඉෂාර හෝමපාල , මාලිංග ගුණසේකර සහ රවිදු කුෂාන් යන මහත්වරුන් විසින් සිදු කර ඇත.
COMMENTS
කෙසේ ඔප්පු කරන්න ද? ගෙවල් පැත්තේ ඉන්න කට්ටියට විතරක්ම විකුණන කොට.. බිලක් ද නිකුත් නොකරන කොට... අනේ මන්දා...
ඔක්කොටම කලින් 1977 ට හෝ 0117755481, 0117755482 යන දුරකථන අංක වලට ප්‍රතිචාර නොදැක්වීම පිලිබඳ කාටද පැමිණිලි කරන්න ඕන? රුපියල් 100/= ට පාලන සිල්ලර මිල තියෙන සුදු සීනි දැන් පිටකොටුවේ තොග වික්කේ 115/= ට. රුපියල් 88 - 95/= ත් අතර තිබුන සහල් තොග මිල දැන් 100 - 105/=ත් අතර. බී ලූනු තොග මිල දැන් 145 - 150/=යි. රුපියල් 87/=ට පාලන මිල තියෙන පාන් පිටි දැන් පිටකොටුවේ තොග මිල 86 - 87/=. ඕක කියන්න මම ඉහත දුරකථන අංක වලට කථා කරා. බැරිම තැන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිට පැමිණිලි කරා. දැන් දවස් පහක් වෙනවා කිසිම දෙයක් කරල නෑ.
දැනුම් දෙන්නනම් පුළුවන් හැබැයි අපේ රහස්‍ය බාවය ආරක්ෂා කරනවා නම්. එහෙම නොවුනොත් කළුකඩ කාරයෝ අපිව මරාගෙන කනවා...
1977 ට මම කතා කළත් වොයිස් මෙල් ගිහින් කට් වෙනවා.
අදාල ජංගම අලෙවි රථයේ ලියාපදිංචි අංකයද සමග 1977 යන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි.