කල්දමනු ලැබූ මහ ඡන්දය යළිත් කල් යමින් තිබෙන්නේ නිශ්චිත දින වකවානුවක් ද නොමැතිවය. මහ මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පවත්වන්නට මැතිවරණ කොමිෂන් සභාව මෙයට පෙර තීරණය කළේ කොරෝනා වසංගතය හේතුවෙනි. එහෙත් කොරෝනා වසංගතය මැතිවරණය පවත්වන්නට ප්‍රමාණවත් තරමේ පාලනයක් ඇතිවී තිබෙන බවට සෞඛ්‍ය අංශ මගින් සහතිකයක් මෙතෙක් ලබා දී නොමැති නිසා මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැන මැතිවරණ කොමිෂන් සභාවට ද නියමිත තීරණයක් නොමැත. මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට දින නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා විපක්ෂයේ පක්ෂ හා සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලිණි. ඉකුත් සතිය පුරාම වාගේ සිදු වූයේ පෙත්සම් පිළිබඳ සලකා බැලීමකි. ඒ අතර මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ ලබන මස 20 වැනිදා මැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකි බවකි. ඒ සමගම ඔවුන් දන්වා සිටියේ, මහ මැතිවරණය පැවැත්වීමට නම් සෞඛ්‍ය අංශවලින් සුබවාදී නිර්දේශ ලැබී සති 9ත් 11ත් අතර කාලයක් අවශ්‍ය බවය.


මැතිවරණය මෙසේ දින නියමයක් නැතිව දිගින් දිගටම කල්යාම දේශපාලන කරළිය දැඩි කැළඹිල්ලකට ලක් කර තිබේ. අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ මහ ඡන්දය කල් දමනු ලැබුවේ කොරෝනා හේතුවෙනි. එහෙත් පසුව එය දින නියමයක් නැතිව කල් දැමූ මැතිවරණ කොමිසම, මැතිවරණය ජූනි 20 පවත්වන්නට යළි දින නියම කළේය. මහ මැතිවරණයක් දින නියම කර මේ ආකාරයට දිගින් දිගටම කල් දමා ඇත්තේ මේ රටේ මැතිවරණ ඉතිහාසයේ පළමු වරට විය යුතුය. ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටියේ ජූනි 20 ඡන්දය පැවැත්වීමට නොහැකි නම් අඩුම තරමින් ඉන්පසු මාසයක් ඇතුළත හෝ ඡන්දය පැවැත්වෙනු ඇතැයි කියාය. කොරෝනා වසංගතයත් සමග මෙරට ආර්ථිකය කඩා වැටී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ තත්ත්වය තුළ ඡන්දය දිගින් දිගටම කල්යාම ආණ්ඩුවේ කටයුතු කරගෙන යාම දැඩි ගැටලුවක් වනු ඇත. මේ අතර විපක්ෂය නම් ඡන්දය කල්යාම ගැන මහත් කැමැත්තෙන් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ද කොරෝනා අවසන් වන තෙක් ඡන්දය කල් දැමීමය.


කොරෝනා නිසා බොහෝ දේ අහිමි වූවා සේම, ඊටත් වඩා දස දහස් ගණනකින් අපට බොහෝ දේ අහිමි වූයේ තිස් වසරක තස්ත්‍රවාදය හේතුවෙනි. වසර 30ක් පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කර ගිය සඳුදාට වසර 11ක් පිරිණි. යුද්ධය අවසන් වීමෙන් පසුව සෑම වසරකම මැයි 19 වැනිදා විජයග්‍රහණයේ සැමරුම ලෙස රණවිරු සැමරුම් උත්සවයක් පවත්වන්නට ආණ්ඩුව කටයුතු කළේ යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන් සිහි කරමින්, ඔවුනට ගෞරවය පුද කිරීමේ අරමුණෙනි. මෙවර ද එම උත්සවය ඉහළින් පවත්වන්නට ආණ්ඩුව සූදානමින් සිටියේය. ඊට විශේෂ හේතුවක් ද තිබිණි. යුද්ධය අවසන් කිරීමේ සටනට එදා දේශපාලන නායකත්වය සැපයු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අගමැතිවරයාය. එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස සුවිසල් කාර්යභාරයක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා අද මේ රට මෙහෙයවන රාජ්‍ය නායකයාය. ඔහු මේ රටේ ජනාධිපති ධුරයට පත්කරන්නට ජනතාව පෙළ ගැසුණේ ද ත්‍රස්තවාදය අවසන් කරන්නට සහය දුන් සැබෑ නායකත්වය නිසාමය. ඒ නිසාම මෙවර රණවිරු සැමරුම ඉහළින්ම පවත්වන්නට ආණ්ඩුව සූදානම් වුවද කොරෝනා වසංගතය ඊට හරස් විය. ඒ නිසා ආණ්ඩුව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අබියස දී සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පමණක් රණවිරු සැමරුම අභිමානවත් ලෙස පවත්වන්නට කටයුතු යොදා තිබිණි.


මෙවර උත්සවයේ විශේෂත්වක් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පළමු වරට ඊට සහභාගි වීමය. යුද්ධය සමයේ නාවික හමුදාවට අණ දුන් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ෆ්ලිට් තනතුරටත්, ගුවන් හමුදාවට අණ දුන් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් තනතුරටත් උසස් කිරීමෙන් පසුව, රණවිරු සැමරුමට මෙවර සහභාගි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමැතිවරුන් කිහිප දෙනකු ඇතුළු දේශපාලනඥයන් සීමිත පිරිසකුත් රණවිරු පවුල්වල සිටින පිරිසකුත් ඊට සහභාගි වූයේ සෞඛ්‍ය අංශවලින් දී තිබූ නිරෝධායන නීති රීතිවලට අනුව යමිනි. ජනාධිපතිවරයා රණවිරු සැමරුමේ දී කළ ඉතා කෙටි මෙන්ම, ආකර්ශනීය කතාව බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එහෙත් එය ගැඹුරු කතාවක් පමණක් නොව, ලෝකයටම ලොකු පණිවිඩයක් ද එහි තිබිණි. මේ රට හෝ මේ රටේ යුද විරුවන් අසාධාරණයට ලක්කිරීමට ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව එම ආයතනයෙන් හෝ සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තමා පසුබට නොවන බව ජනාධිපතිවරයා කීවේය. එය ඔහු සිංහලෙන් පමණක් නොව, ඉංග්‍රිසියෙන් ද නැවත වරක් කීවේ එම පණිවිඩය ජාත්‍යන්තරයට ද යා යුතු බැවිනි. නිදහස දිනා දුන් රණවිරුවන් වෙනුවෙන් තමා දිගටම පෙනී සිටින බව ද ජනාධිපතිවරයා කීවේය.


5000 ගෙවීමට මැකෝ හරස් වෙයි.


කොරෝනා වයිරසය හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට සහනයක් ලෙස රජය විසින් රුපියල් 5000ක මාසික දීමනාවක් ගෙවනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මාසයේ සිටය. එය මේ මාසයේ ද ගෙවමින් සිටින අතර, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් නොවීම නිසා ලබන ජූනි මාසයේ ද රුපියල් 5000 ගෙවන්නට ආණ්ඩුව තීරණය කර තිබිණි. ආණ්ඩුව එය ගෙවන්නට තීරණය කළේ ආණ්ඩුවට මුදල් තිබෙන නිසා නොව අඩු ආදායම්ලාභී පවුල්වලට එමගින් යම් සහනයක් සැලසෙන බැවිනි. රුපියල් 5000 දීමනාව ලැබූ පවුල් ගණන ලක්ෂ 50ක් පමණ වේ. ලබන ජූනි මාසයේ රුපියල් 5000 දීමනාව ගෙවීම ආණ්ඩුවට නතර කරන්නට සිදු වූයේ මැතිවරණ කොමිෂන් සභාව ඊට හරස් වූ බැවිනි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය 17 වැනිදා රජයට ලිපියක් යවමින් දැනුම් දී තිබුණේ ජූනි මාසයේ 5000 ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් විය හැකි බැවින් නැවත ඒ ගැන සලකා බලන ලෙසය. ඔහු නොකියා කීවේ ජුනි මාසයේ 5000 දීමනාව ගෙවීම නතර කරන ලෙසය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ එම තීරණය සහිත පිටු දෙකකින් යුත් ලිපිය ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කැබිනට් ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම්, මුදල් ලේකම්, සමාජ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් යන රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම යවා තිබිණි.

‘‘පාර්ලිමේන්තු මැතිවරණය 2020 කොවිඩ් - 19 වසංගත තත්ත්වය නිසා ආපදාවන්ට ලක් වූ පුරවැසියන් සඳහා සහන සැලසීම් මත අප්‍රේල් මැයි මාසවල දී ලබා දුන් 5000ක් බැගින් වූ මූල්‍ය ආධාරය 2020 ජූනි මස ගෙවීමේ යෝජනාව’ යන්න මැකොගෙ ලිපියේ මාතෘකාව විය. රුපියල් 5000 ගෙවීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, තනි පුද්ගලයන්, සිවිල් සංවිධාන පමණක් නොව, මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් ද එම චෝදනාව නගන බවත්, මැකොගෙ ලිපියේ සඳහන් වී ඇත. මැකොගේ ලිපියේ පිටපත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ට සහ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරියාට ද යවා තිබිණි.


මැකොගේ මේ ලිපිය ගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේ දී ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය. එහිදී ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් දක්වමින් කියා සිටියේ, මෙය දේශපාලන ව්‍යාපෘතියක් ලෙස මැතිවරණ කොමිසම අර්ථකතනය කරනවා නම් ජූනි මාසයේ 5000 ගෙවීම නතර කළ යුතු බවය. කො​රෝනා නිසා පීඩාවට පත් වූ පවුල්වලට දේශපාලන පක්ෂ පාට නොබලා රුපියල් 5000ක් දීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස කවුරුන් හෝ දකිනවා නම් එවැන්නක් තවදුරටත් කිරීමේ අවශ්‍යතාවක් නැති බව ඔවුන්ගේ තර්කය විය. මේ පිළිබඳව ඉදිරිපත් වූ අදහස සැලකිල්ලට ගනිමින්, රුපියල් 5000 ජූනි මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.


ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගිය සඳුදා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී රැස් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කොරෝනා වසංගතය නිසා සාකච්ඡාව පැවැත් වූයේ නිරෝධායන නීතිරීති අනුගමනය කරමිනි. සියලු දෙනා මුඛ ආවරණ ද පැළඳ සිටි අතර, අසුන් ගත්තේ ද මීටරයක් දුරිනි.


මහ මැතිවරණයට නාම යෝජනා බාරදීමෙන් පසුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එදින රැස් වූයේ පළමු වරටය. වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙනයාම ආදිය ගැන ද සාකච්ඡා විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ, ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් අතර ඇති සමගියට බාධාවක් නොවන ලෙස මැතිවරණ කටයුතු කළ යුතු බවය. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ද එ් ගැන පැහැදිලි කළේය. කුරුණෑගල හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කීවේ ‘‘සමහරු තනි තනි මැතිවරණ ව්‍යාපාර ගෙනියනවා. ඒ වෙනුවට පොදු යාන්ත්‍රණයක් පක්ෂයේ මැදිහත්වීමෙන් සකස් කළ යුතුයි’’ යනුවෙනි.


මහ මැතිවරණයට නාමයෝජනා නොලැබුණු පිරිසක්ද සිටියහ. තමන්ට නාමයෝජනා නොලැබීම ගැන ඉන් සමහරු ඇතැමුන්ට දෝෂාරෝපණ ද එල්ල කළහ. ගාමිණි තිලකසිරි පළාත් සභාවේ හිටපු ඇමැතිවරයාත්, ජීවන් කුමාරතුංග හිටපු ඇමැතිවරයාත් තමන්ට නාම යෝජනා නොලැබීම ගැන දුක් ගැනවිල්ල ඉදිරිපත් කර තිබුණේ ලිපියකිනි. ඔවුන් දෙදෙනාම ඉන් චෝදනා කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප නායක තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාටය. පළාත් සභාවේ හිටපු ඇමැති හෙක්ටර් බෙත්මගේ ද තමන්ට නාම යෝජනා නොලැබීම ගැන දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළ අතර, ඔහුගේ චෝදනාව එල්ල වූයේ ද තිලංගටය. එහෙත් තිලංග ඊට උත්තර දෙන්නට නොගියේය. අනතුරුව කතා කළේ හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමය. ඔහුට නාම යෝජනා දෙන්නට එපා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබූ බවට ඒ දිනවල මතයක් පැතිර ගියේය. මුතුහෙට්ටිගම කීවේ, ජනාධිපතිතුමා විරුද්ධ වූවා කියලා මට නාම යෝජනා දුන්නැති එක වැරැදියි. හැබැයි මම පක්ෂයේ දිගටම ඉන්නවා’’ යනුවෙනි. මුතුහෙට්ටිගමට පක්ෂව, ෂාන් විජයලාල් ද සිල්වා දකුණේ හිටපු මහ ඇමැතිවරයා කතා කළේය. ෂාන් කීවේ, මුතුහෙට්ටිගම මන්ත්‍රීතුමා නාම යෝජනා නොලැබුණා කියලා පක්ෂයෙන් ඈත්වෙලා නැහැ. එතුමා පක්ෂයේ වැඩ වෙනුවෙන් කැප වෙනවා. මගේ ඡන්ද ව්‍යාපාරයටත් එතුමා ඉහළින්ම උදව් කරනවා’’ යනුවෙනි.


අනතුරුව නැගී සිටි ඌව හිටපු මහ ඇමැති චාමර සම්පත් දසනායක මතු කළේ වෙනස්ම කතාවකි. ඔහුගේ කතාව ද චෝදනාවක් නොව දුක් ගැනවිල්ලකි. ඒ කතාවට හැමෝටම හිනාය. ‘‘නිමල් සිරිපාල ඇමැතිතුමා ඡන්දෙ දී බදුල්ලෙන් එකට ආවත්, දෙකට ආවත් තුනට ආවත් එතුමා ඊළඟ ආණ්ඩුවෙත් කැබිනට් ඇමැති. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එතුමා යන තැන්වල මට ඊළඟ ආණ්ඩුවේ මොකුත් ඇමැතිකමක් හම්බවෙන්නේ නැහැයි කියන එක හොඳ නැහැනේ. චාමර කියද්දී මෛත්‍රීට හිනාය. නිමල් සිරිපාල ඇමැතිවරයා ද එහි ඉදිරි පෙළ අසුන් ගෙන සිටිය ද, ඔහු ඒ ගැන කිසිවක් කියන්නට ගියේ ද නැත. මේ අතර පොහොට්ටුවට ගොස් සිටින මහින්ද සමරසිංහ හිටපු ඇමැතිවරයා පක්ෂයේ තනතුරුවලින් සහ සාමාජිකත්වයෙන් ඉවත් කරන්නට මධ්‍යම කාරක සභාව තීරණය කළේය.


ශ්‍රීලනිපයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට නාම යෝජනාවලට අත්සන් කිරීමට ලිපියක් දී තිබිණි. ඒ පක්ෂය හැර නොයන බවට වන ප්‍රකාශයකි. බොහෝ දෙනකු එදින එයට අත්සන් කර තිබුණ ද, කිහිප දෙනකු ඊට අත්සන් කර තිබුණේ නැත. එසේ අත්සන් නොකළ අයට රැස්වීම අවසන් වී යන විට අත්සන් කරන්නැයි දයාසිරි ජයසේකර මහලේකම්වරයා දැනුම් දීමක් ද කළේය.


මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් කොළඹට කැඳවා වෙනම හමුවක් පැවැත්වීමට ද මධ්‍යම කාරක සභාවේ දී තීරණය විය. ඒ අනුව එම රැස්වීම ඉකුත් බදාදා හැන්දෑවට යොදා ගැනුණි.


ඒ අනුව ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ හමුව බදාදා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ජූනි 20 මැතිවරණය පැවැත්විය නොහැකි බවට හා මැතිවරණය තවත් කල් යන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට එදින දහවල් කර ඇති දැනුම් දීම එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඒ අනුව මැතිවරණ ව්‍යාපාරය සඳහා වන සැලසුම් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ලෙස සංවිධානය කිරීම ගැන ද සාකච්ඡා විය. මෛත්‍රී අදහස් දක්වමින් කීවේ, දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතු බවය. එය බණ්ඩාරනායක මැතිනිය එදා ගෙන ගිය ප්‍රතිපත්තියට ද සමාන බැවින්, එය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රීලනිපය ද උපරිමයෙන් කැප විය යුතු බව ඔහු කීවේය.