IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ගංවතුරින් ඇමැති ගයන්තට දේශපාලන ආපදාවක්

 

අගමැතිගේ වෛද්‍ය පරීක්‍ෂණ අවසන්

අගමැති රනිල් වාර්ෂිකව සිංගප්පූරුවේදී සිදුකරන වෛද්‍ය පරීක්‍ෂණයකට අනුව ඔහුගේ හෘදයට අදාළව ලැබුණු පරීක්‍ෂණ ප්‍රතිඵලය ගැන වැඩිදුරටත් පරීක්‍ෂණ හරහා දෙවැනි මතයක් ලබාගැනීම සඳහා පසුගියදා ඇමෙරිකාව බලා පිටත් විය. ප්‍රෙස්බෙටේරියන් විශ්වවිද්‍යාල රෝහලට ගිය අගමැතිවරයා අදාළ වෛද්‍ය පරීක්‍ෂණයට යොමු විය.


හෘදයේ එක් කපාටයක් හා එක් නහරයක් ගැන සිදු කළ දෙවැනි මතය විමසීමේ පරීක්‍ෂණයේ දී එළි වූයේ එම ශරීරාංගවල ක්‍රියාකාරීත්වයේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බවය. ඒ තුළ කිසිදු ශල්‍යකර්මයක් හෝ “ස්ටෙන්ත්” උපකරණයක් දැමීමකින් තොරව ඉදිරි කටයුතු කරගෙන යාමේ නිර්දේශය අගමැතිවරයාට ලැබී තිබේ.


අගමැතිවරයා සමග බිරිඳ මෛත්‍රී ද අදාළ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඇමෙරිකාවට ගිය අතර ඔවුන්ගේ සහායට ඇමැති මලික් ද එහි යාමට සූදානම් වී කටුනායක ගුවන් තොටුපලට ගියත් අගමැතිවරයාගෙන් ලැබුණු ඇමතුමකින් කියවුණේ මලික්ගේ පැමිණීම අනවශ්‍ය බවය. මලික් ආපසු හැරී තම නිවසට ගියේය.


වෛද්‍ය පරීක්‍ෂණ නිම කළ අගමැතිවරයා අඟහරුවාදා නිව්යෝර්ක්හි එ.ජා. සංවිධානයේ සාගර සම්පත් තිරසර සමුළුවට එක් වී විශේෂ දේශනයක් කළේය. “ශ්‍රී ලංකාවේ ගංවතුරට ලෝකය ලබාදුන් සහන ගැන ස්තුතියි. ලොව ලොකුම ප්ලාස්ටික් තොගය එකතුවන්නේ ඉන්දියන් සාගරයටයි. ගොඩබිම සේම සාගරයේ පරිසරය ද රැකීම මානවයාගේ වගකීමයි” අගමැති රනිල් කළ එම දේශනය ගැන කාගේත් ප්‍රසංශාව හිමිවිය.


අගමැතිවරයා ඉන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරිය ද හමුවී සාකච්ඡා කළේය. අගමැති රනිල්ගේ පෞද්ගලික මිත්‍රයෙකු වන එ.ජා. මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඔහු පැමිණි බව සැලවීමත් සමග තම සෙසු රාජකාරි පසෙකලා අගමැතිවරයා හමුවීමට එ.ජා. මහලේකම්වරයා තීන්දු කිරීම විශේෂ සිදුවීමක් විය.


“ශ්‍රී ලංකාව දැන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා තිරසර සංවර්ධනය පැත්තෙන් හොඳ ගමනක් යනවා. ලෝකයේම සහය ඊට ලැබෙනවා. ගංවතුර ගැන කනගාටු වෙනවා. අවශ්‍ය උදව් අපි ලබා දෙන්නම්” එ.ජා. මහලේකම් කීවේය.


අගමැතිවරයා විටින් විට කිරිඇල්ල, රවී, මලික්, සාගල ප්‍රමුඛ ඇමැතිවරුන්ට කතාකොට රටේ දෛනික තත්ත්වය ද විමසීය.
අගමැතිවරයා විදේශගත වූ දින සිටම එජාපයේත් ආණ්ඩුවේත් සියලු බර සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ උරහිස මත පැටවිණ.
“සියලු කටයුතු සොයා බලා ඉටු කරන්න. අවශ්‍ය නම් පමණක් මට කතා කරන්න” විදේශගත වීමට පෙර අගමැතිවරයා කිරිඇල්ලට සියලු වගකීම් බාර දුන්නේ එසේ පවසමිනි. ඒ තුළ එජාපයේත් ආණ්ඩුවේත් “සුක්කානම” දරමින් අදාළ සියලු වගකීම් ඉටු කිරීමට කිරිඇල්ල දිවා රෑ නොබලා දැඩි වෙහෙසක් ගත් බව පෙණින.


“ඔබතුමා දැන් අපේ අගමැතිතුමා වගෙයි” බ්‍රහස්පතින්දා සභානායක කාර්යාලයට පැමිණි රන්ජන් රාමනායක කීවේය.


“අගමැතිතුමා රට නිසා ඔබතුමාගේ වැඩ දෙගුණ තෙගුණ වෙලා කියල ආරංචියි. අගමැතිතුමා හමුවන අය මුණගැසීමයි අනිත් වැඩයි ඔක්කොම ප්‍රායෝගිකව ඔබතුමාට තමයි දැන් පැවරෙන්නේ” දයා ගමගේ මෙන්ම විජයදාස රාජපක්‍ෂ ද කීවේ එකම කතාවකි.


“රට අඩාළ නොවීමට වගබලා ගැනීම අපි කාගේත් වගකීමයි. ගංවතුරින් හානි වූ ආසනවලට ඇමැතිවරුන් අනුයුක්ත කිරීමට ජනාධිපතිතුමා ගත්ත තීන්දුව අගමැතිතුමාත් අගය කළා. කැඩුණු පාරවල් හදන්නම කෝටි 800ක් යොදවනවා. නිවාස, පාසල්, රෝහල්, වාරිමාර්ග, පාසල් දරුවන්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලු දේවල් කඩිනමින් සිදු කරන යාන්ත්‍රණය පටන්ගත්තා. නිවාස හා ව්‍යාපාරිකයන්ට උපරිම වන්දි ගෙවනවා. පිටරටින් හුඟක් ආධාර ආවා. ආණ්ඩුවත් උපරිම කරනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නොතකා කළ කැපවීමට ජාතියේම ප්‍රණාමය පුද කරන්න ඕනෑ” ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේය.


“ඒත් අර සාලාව හමුදා කඳවුරේ පිපිරීම ගැන තවම ප්‍රශ්න ඉවර නැති බව මිනිස්සු කියනවා” දයා ගමගේ විමසීය.
“ඒ අයට ලක්‍ෂ 12,875ක් බෙදල තියෙනවා. සුළු පිරිසක් වන්දි ප්‍රමාණවත් නෑ කියල මානව හිමිකම් ගියා. ඒ ප්‍රශ්නයත් ඉක්මනින් විසඳීම කළ යුතුයි” විජයදාස රාජපක්‍ෂ කීවේ එවැන්නකි.


“ගංවතුර නවත්වන්න ගංගා කීපයක් හරස් කරන ව්‍යාපෘති කරන්නම වෙනවා. එකතුවෙන වතුරෙන් ජල විදුලිය හා කෘෂිකර්මයට ජලය දෙන්නත් පුළුවන්. මේ යෝජනාවලට විපක්‍ෂයේ අය විරුද්ධ වෙනවා. එහෙම හිතල බෑ. මහවැලියට අක්කර 30,000ක් උඩරට මිනිස්සු පූජා කළා. රජමහා විහාර 05ක් පවා ජලයට යට කළා.” ලක්‍ෂ්මන් කිරිඇල්ල විග්‍රහ කළේය.


“කටාර් අර්බුදය අපට කොහොම බලපාවි ද කියන්න අමාරුයි. තෙල් මිල ඉහළ ගියහොත් ඒක අපට වගේම ලෝක ආර්ථිකයටත් බලපෑමක් වේවි” දයා ගමගේ කීය.


“කටාර්වල අපේ මිනිස්සු ලක්‍ෂ 1 1/2ක් ඉන්නවා. ඒ අයගේ රැකියාවලට හෝ ජීවිතවලට තර්ජන නෑ. ඒත් කටාර්වලට කෑම සපයන්නේ සෞදියයි. ඔවුන් කෑම එවීම නවත්තලා. ඉරානය ආහාර දෙන්න සූදානම්. ඒත් එක ආහාර ලොරියක් එන්න දින 2-3ක් යනවාලු. ගුවන් ගමන් තහනම අනිත් ප්‍රශ්නයයි. මේක ඒ කලාපීය ප්‍රශ්නයක් මිස ශ්‍රී ලංකාවට අදාළ නෑ කියල විදේශ ඇමැති රවී හොඳ විග්‍රහයක් කළා” වජිර අබේවර්ධන කීවේය.


“ට්‍රම්ප් සෞදියට ඇවිත් කිව්වේ ත්‍රස්තවාදය විසඳන්න උඹලා උනන්දු නැතිනම් අපි පැත්තකට වෙනවා කියලයි. ඊට පස්සෙයි අරාබි රටවල් කටාර් ත්‍රස්තවාදීන්ට උදව් කරනවා කියල සියලු සබඳතා අතහැරියේ. ත්‍රස්තවාදයට යම් රටක් උදව් කරනවා නම් මේ සිදුවීම ලොකු පාඩමක්. නීතිගරුක රටවල් එවැනි රටවල් කොන් කරනවා” දයා ගමගේ කීවේය.


“අපේ අලුත් විදේශ ඇමැති රවි කරුණානායක මුලින්ම ඉන්දියාවට ගිහින් අගමැති මෝදි, විදේශ ඇමැතිනිය හා විදේශ ලේකම් හමුවෙලා වැඩ ඇල්ලීම හොඳ තීන්දුවක්. අල්ලපු ගෙදරින් වැඩ පටන් ගැනීම හොඳ සම්ප්‍රදායක්” වජිර අබේවර්ධන කීවේය.

 

රජයේ නිලධාරීන්ට කතානායකගේ පැසසුම්


ආපදා තත්ත්වය හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සම්බන්ධීකරණයේදී සක්‍රීය වැඩ කොටසක් ඉටු කළ කථානායකවරයා විපතට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බොහොමයකට ගොස් පෞද්ගලිකවම අදාළ කටයුතු සොයා බැලුවේය.


ගංවතුර මැදින්ම රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වෙත ගිය ඔහු දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකෙහි තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා මෙම සතිය ආරම්භයේදීම එහි ගියේය. තිහගොඩ, අතුරලිය, කඹුරුපිටිය, තවලම, නෙළුව, නාගොඩ, බද්දේගම, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් රාජ්‍ය නිලධාරීන් සමග දැනට ගෙන ඇති පියවර සහ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයක යෙදිණි.


කථානායකවරයා යන විටත් වෙනදා පිළිවෙළට හැඳ පැළඳ රාජකාරියේ යෙදෙන ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීහු සියලුදෙනාම පාහේ තත්ත්වය තරාතිරම නොබලා අතට හසු වූ ඇඳුමකින් සැරසී, කළ හැකි සෑම වැඩක්ම ඉටු කරමින් සිටියහ.


සමහර නිලධාරීන් දින ගණනාවකින් රැවුල කපා තිබුණේ නැත. විපත සිදු වූ මොහොතේ පටන් සිය රාජකාරියට සීමා නොවී ඔවුන් කටයුතු කළ ආකාරය ගැන කථානායකවරයා බෙහෙවින් ප්‍රශංසා කළේය.


ගංවතුරට මුහුණ දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා හමු වී සුවදුක් විමසීමට යන විට ඔහුගේ නිවස මුළුමනින්ම සහන සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි.

 

ගයන්තගේ ආපදාව


තම ඡායාරූපය ද ඇලවූ කෙසෙල් ගෙඩි පාර්සල් කිසියම් පිරිසක් විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවලින් විපතටපත් ජනතාවට බෙදාදීමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු ෆේස් බුක් ඇතුළු සමාජජාල කීපයක් ඔස්සේ ප්‍රචාරයට පත්වීමත් සමඟ ඉඩම් හා පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කළේ මේ ගැන රහස් පොලිසිය වෙත පැමිණිලි කිරීමය. පසුගිය අඟහරුවාදා දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ කෙසෙල් ගෙඩි බෙදීමේ හුටපටය ඇදී ආවේ ගයන්ත ඒ ගැන කතා කිරීමට පටන් ගැනීමත් සමඟය. “මේ ගංවතුරින් මමත් ආපදාවට පත් වුණා” කියා ඇමැති ගයන්ත කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළවිට සෙසු කැබිනට් ඇමැතිවරුන් මෙන්ම ජනාධිපතිවරයා ද පුදුමයෙන් මෙන් ගයන්ත දිහා බැලුවේ ඔහු කී කතාවේ අගමුල මොකක් දැයි තේරුම් ගන්නට බැරි වූ නිසාය. පසුව ගයන්ත මේ කෙසෙල් ගෙඩි බෙදීමේ කතාවේ තොරතුරු සියල්ල හෙළිකරමින් කීවේ තමන් මේ ගැන සී.අයි.ඩී.යට පැමිණිලි කළ බවය. එවිට ජනාධිපතිවරයා මෙන්ම ඇමැතිවරුන්ද කීවේ මේ ආකාරයට කරන මඩගැසීම් අනුමත කළ නොහැකි බවත්, ඒ ගැන පැමිණිලි කළ එක හොඳ බවත්ය.


ඉකුත් දිනෙක බෙන්තර පැවැති ආගමික උත්සවයකදී ජනාධිපතිවරයා මහින්ද අමරවීර හා චන්දිම වීරක්කොඩි යන ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනා දෙපැත්තේ තියාගෙන එම උත්සවයට පැමිණ සිටි ගයන්තව වර්ණනා කළේ ගයන්ත රජයේ සිටින කාර්යශූර ගුණයහපත් ඇමැතිවරයෙක් බව පවසමිනි.

 

පාහියංගල ඇත්ත නැත්ත


ගංවතුරින් හා නායයෑම්වලින් විනාශයට පත්ව තිබූ දකුණු පළාතේ පාසල් රැසක් නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ගිය ඉරිදා දෙනියාය, පිටබැද්දර, මොරවක ආදී ප්‍රදේශවල සංචාරය කළ අතර, එහිදී පාසල්වල පිහිටා තිබූ කඳවුරුවල රැඳී සිටි ජනතාවගේ සුවදුක් විමසා බැලීමට ද ඇමැතිවරයා අමතක නොකළේය. පාහියංගල ලෙන පහළ ප්‍රදේශය නායයෑමට ලක්වූ බැවින් පාහියංගල භූමිය ද නායයෑමේ තර්ජනයකට මුහුණ පා ඇති බවට ඉකුත් දින කීපයේ පුවත් පළ වී තිබූ බැවින් අකිල ආපසු එන අතරවාරයේ පාහියංගල ලෙනට ද ගියේය. එහිදී ලෙනේ ඉහළට ගොස් තත්ත්වය පරීක්ෂා කළ අකිල නිලධාරීන්ට උපදෙස් දුන්නේ ලෙන ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සෙනරත් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට අකිල ගත් පියවර සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වැරැදි ප්‍රවෘත්ති පළකර තිබූ නිසා අධ්‍යාපන ඇමැතිවරයා ඒ ගැන පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද කළේය.

 

ජවිපෙ සමන්ත ඌවේ ගස් මහණ කරයි


ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ජනතා පෙරමුණේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු භික්ෂූන් වහන්සේලා, ප්‍රදේශවාසීන් සහ ආදීවාසීන් පිරිසක් පරිසර දිනයේ දී මාදුරු ඔය රක්‍ෂිතයේ ගස් කිහිපයක් සංකේතාත්මකව මහණ කිරීමට කටයුතු කළේය.


එම අවස්ථාවට පරිසර සංවිධාන ඇතුළු තවත් සංවිධාන තිහකට අධික ප්‍රමාණයක් සහභාගි වීම විශේෂත්වයක් විය. ඔවුන් මේ කටයුත්ත සිදුකළේ වත්මන් ආණ්ඩුව විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර හැටදහසකට අධික ප්‍රමාණයක් උක් වගාකිරීම සඳහා බහුජාතික සමාගමකට ලබාදීමට විරෝධය පළකරමිනි.


බුකටේටි නම් එම සමාගම විසින් උක් වගා ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු යොදා තිබූ අතර පසුගිය 05 දිනට යෙදුන පරිසර දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කර්මාන්ත ශාලාවට මුල්ගල තබන බවට තොරතුරක් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයට වාර්තා වී තිබිණි. මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡා මගින් රැස්වීම් මගින් විශාල විරෝධයක් ගොඩනැගූ එම සංවිධානය ජනාධිපතිවරයාට අවධාරණය කර සිටියේ මුල්ගල තැබීමට නොඑන ලෙසයි.


අනතුරුව එම සංවිධානයේ මැදිහත්වීමෙන් ඇකිරියන්කුඹුර, දෙහිගම, මදුරු ඔය රක්‍ෂිතයේ දී දවස පුරා පරිසර දිනය සැමරීමට වැඩසටහනක් දියත් කළේය. එහිදී භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් රක්‍ෂිතයේ වටිනා ගස් ගණනාවක් කහ සිවුරු දවටා මහණ කළහ.


එහි අරමුණ වූයේ රක්‍ෂිතයේ ශාක කපා විනාශ කිරීම වළක්වා ගැනීම සඳහාය. එයට අමතරව රක්‍ෂිතයේදී පැළ රෝපණ ව්‍යාපාරයක් ද දියත් කළේය. උත්සවය අවසානයේ දී සාම්ප්‍රදායානුකූලව පිළියෙළ කළ ගමේ ආහාර වේලකින් පැමිණ සිටි පිරිසට සංග්‍රහ කිරීමට සංවිධානයකයන් කටයුතු කොට තිබිණි.



අදහස් (0)

ගංවතුරින් ඇමැති ගයන්තට දේශපාලන ආපදාවක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 21 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 531 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 488 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 303 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 309 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 376 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site