සයිප්‍රසය

අයං වස්සාන කාලෝ. මේ වස්සාන කාලයයි ඇසළ පුන් පොහොයත් සමගින් වස්සාන කාලය ඇරඹෙයි. එමෙන්ම සිදුහත් කුමරු මහමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, බෝසතුන්ගේ මහා අභිනික්මණ, රාහුල කුමරුගේ උපත මෙන්ම ලාංකික අපේ ශ්‍රී දළදා පෙරහැර ආරම්භය යන බොහෝ කරුණු හේතු කොටගෙන ඇසළ පොහොය වැදගත් වන්නේය. වස් සමාදන් වීම හා වස් ආරාධනා සහ තෙමසක් පුරා පිං කුසල් රැස්කර ගැනීමට වස් පිංකම්වලට මුල පුරන්නේද මෙම ඇසළ පොෙහායෙනි. එහි අවසන අටමහ කුසලයන් ගෙන් ප්‍රධානම වු මහා කඨින චීවර පුජාවද සිදු කරනු ලබයි. භාග්‍යවත් වූ අරහත් වූ බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥප්තියට අනුව සිදුවන මෙම වස් ආරාධනාව සම්ප්‍රදායානුකූලව අප මව්බිම මෙන්ම විදෙස්ගත ලාංකික බෞද්ධයෝ ද මෙය සිදු කරනු ලබන්නේ එහි ඇති වැදගත්කම වටිනාකම අවබෝධ කොට ඇති නිසා වෙනි.
එවන් වස් ආරාධනා පිංකමක් සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනේ දී 2019-7-14 වැනි ඉරු දින පස්වරු 2 පැවැත්විණ. ඇසළ පුන් පොහොය 16 වැනි දිනට යෙදී තිබුණ ද එය සතියේ වැඩ කරන දිනයක් බැවින් 14 වැනි ඉරුදින මෙම පිංකම සිදු කරන ලදී. 2005 වසරේ ජුලි 10 වැනිදා ආරම්භ වු සයිප්‍රස් ශ්‍රී ලංකාරාමය එදා මෙදා තුර සෑම වසරක් පාසාම බෞද්ධයනට සුවිශේෂි වූ මෙම පිංකම සිදු කරගෙන එනු ලබයි. සතර පේරුව ලෙස නිකෝසියා, ලිමාසෝල්, ලර්නකා පාපෝස් යන නගර 4 හි වෙසෙන අප ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය වෙමින් සෑම වසරකම එක් නගරයක් මූලිකත්වය ගනිමින් සිදු කරන අතර 15 වැනි වතාවට පවත්වන ලද මෙම වස් ආරාධනා පිංකමෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ සයිප්‍රසයේ පාපොස් නගරයේ වෙසෙන අපේ ලාංකික පිරිසයි.
සම්මුතියට අනුව ස්වාමීන් වහන්සේලාට දැහැත් ගොටු පුජා කරමින් වස්වසන ලෙස ආරාධනා කළ අතර ගරු කොන්සල් ජනරල්තුමන් හා සතරපේරුවේ අය වැසිසලු පූජා කරන ලදී. තවද මෙහිදී විශේෂත්වයක් ලෙස පූර්ව සූදානමකින් යුතුව වස්වසා වැඩ වසන ස්වාමීන් වහන්සේලාට තෙමසක් පුරාවට පරිහරණය කිරීම සඳහා අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයන් ඇතුළත් ගරුභාණ්ඩ විශාල ප්‍රමාණයක් පූජා කිරීමත් සිදු කරමින් මෙම පින්කම ඉතාමත් අලංකාරව සූදානම් කර තිබුණි.
විහාරාධිපති කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාමය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති සයිප්‍රසයේ මහා සංඝනායක, කාව්‍ය විභූෂණ මොරවක සෝරත ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා කැකිරාව කිනිහිරිකන්ද කුඩාරඹාවැවේ ධම්මගවේසි ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍ය උත්සවය පැවැත්විණි. එමෙන්ම විහාරස්ථානයේ පවත්වන සෑම ආගමික, ජාතික හෝ සංස්කෘතික උත්සවයකටම නිරන්තරයෙන්ම සහභාගිවන ශ්‍රී ලංකා කොන්සල් ජනරල් තුමන් රෝහණ අඹගොල්ල මහතා එම මැතිනිය ඇතුලු සේවක මංඩලයද මෙම අවස්ථාවට සහසම්බන්ධ වු අතර සතර පේරුවේ සියලුම දායකයන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වුහ.
විහාරාධිපති අතිපූජ්‍ය මොරවක සෝරත හිමියන් අනුශාසනාවක් පවත්වමින් සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරය ආරම්භයේ සිට මෙතෙක් ආ ගමන සිහි ගන්වමින් හා එම ගමනට දිරි දුන් සියලු දෙනාට ආශීර්වාද කළ අතර පුජ්‍ය ධම්මගවේසි හිමියන් විසින් වස් වැසීම යනු කුමන කාරණයක් අරභයා ද යන්න බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් විසි වසරකට පසු පැනවු එම විනය නීතීය ගැන පැහැදිළි කිරීමක් කරන ලදී.

සටහන
විමලා යාපා
සයිප්‍රස් ලංකාරාම බෞද්ධ සංගමයේ
මාධ්‍ය ඒකකය
රෝමය

වසරකට එක් වරක් පමණක් උදාවෙන පින්බර වස් සමය ඇසළ පුන් පොහෝ දිනයෙන් ආරම්භ කෙරුණි. ඇසළ පුන් පොහෝ දිනයෙන් පසු වස් සමාදන් වී තුන් මාසය පුරාවට වස් ආරක්ෂා කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ විනය ශික්ෂාපදයට අනුව උපසම්පදා වුණු සෑම භික්ෂූන් වහන්සේ නමකගේම චාරිත්‍රයකි. යුතුකමකි.
වසරකට එක්වරක් උදාවන වස් සමය බෞද්ධ පින්වතුන්ට ද මහත් භාග්‍යමත් කාලයකි. ඒ අනුව රෝම ශාක්‍යමුනි විහාරයේ වස් ආරාධනාව ජුලි මස දාහතර වැනි (14) ඉරු දින සවස සිදුකළහ. ශාක්‍යමුනි විහාරාධිපති කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රෝම ශාක්‍යමුනි විහාරයේ දායක පින්වතුන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත වස් තුන් මාසය පුරාවට වස් වසා විහාරස්ථානයේ වැඩ වාසය කරන ලෙස ආරාධනා කළහ.
එම තුන් මාසය පුරාවට සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් දානමාන නොඅඩුව සපයා ස්වාමීන් වහන්සේගේ සුවදුක් නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරන බවටත් සපථ කරමින් අපූරු වාක්‍යක් කියවා දායක පින්වතුන් බොහෝ පිරිසක් ඉතාමත් භක්තියෙන් යුතුව වස් ආරාධනාව සිදුකළහ.
ඉන් අනතුරුව ලොවුතුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ අපිරිමිත ගුණ සමුදායන් සිහිපත් කරමින් සන්ධ්‍යා භාගයේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මල් පහන් ගිලන්පස පූජා කර බුද්ධ වන්දනාවක්ද සිදු කළහ.
වසරකට එක් වරක් පමණක් පින් කුසල් රැස් කර ගත හැකි මෙම මහඟු අවස්ථාව සංසාර ගමන් මඟ කෙටිකර ගැනීමට හැකිවෙන දුර්ලභ අවස්ථාවකි. මෙම උතුම් පින්බර අවස්ථාව සඳහා බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ. විදෙස්ගත රටක අප ජීවත් වෙන නිසා වස් තුන් මාසය තුළ නිවාඩු ලැබෙන ආකාරයට විශේෂයෙන්ම සෑම ඉරිදා දිනකම සවස හතරට බෝධිපූජා පිංකම්, ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම වැනි අති උතුම් පිංකම් සිදු කරන බැවින් ඒ සඳහා සහභාගී වෙන මෙන් සෑම බෞද්ධ පින්වතෙකුටම මෙත් සිතින් ආරාධනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි.
ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප නෙත්මී අමේශා
රෝමය, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd