IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි හැදූ සහ හදන අයට දඬුවම් නැද්ද?

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් හෝටල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඊට පහළින් තිබූ හෝටල් ගොඩනැගිල්ලක සිටි තරුණ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳිය මිය යාමේ සංවේග ජනක ප්‍රවෘත්තිය අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. අනපේක්ෂික අනතුරෙන් පණ පිටින් වැළලුණ මව – පියා සහ මාස එකහමාරක් වයසැති බිලිඳිය නමින් කම්පිත මිනිස් හදවත් සමග ‘‘ලංකාදීප’’‌යද සාතිශය සංවේගයෙන් යුතුව එක්වෙයි.

මියගිය සදාදරණීය මිනිසුන් වෙනුවෙන් අහසට නැගුණු සුදු කොඩිවැල් තව දින කිහිපයකින් දිරාපත්වී යනු ඇත. නාඳුනන නමුත් මියගිය මව පියා හා බිලිඳිය වෙනුවෙන් මුමුණන අනුරාගී මිනිස් කතාබහ තව ටික දිනකින් නතරවනු ඇත. ඒ මිනිසුන් වෙනුවෙන් නැගුණු කඳුළැලි වියැකී යනු ඇත. ඉන්පසුව සිරිත් පරිදි දවස් ගෙවා දැමීම ඇරැඹෙනු ඇත. ඒ යළිත් මෙවන් අවාසනාවන්ත අකල් මරණ, ඛේදවාචකයක් අබියස සංවේදී වීම පිණිසය. විය යුත්තේ එය නොවන බව ඒකාන්ත සත්‍යයකි. අවශ්‍ය වන්නේ මෙවන් විපත් වළක්වාලීමට සමත් දියුණු පරිසරයක් වෙනුවෙන් කැපවීමය. නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවන බව පරම සත්‍යය වේ.

ගොඩනැගිල්ලක් නිවෙසක් එක්වරම කඩා වැටීමට හේතුවක් නැත. නියමිත ක්‍රමවේදවලට හා ප්‍රමිතියට අනුව ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ නම් එය කඩා ඉවත් කරනතුරුම නිරුපද්‍රිතය. එය එසේනම් පස් මහල් හෝටල් ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද? මේ සම්බන්ධයෙන් පුළුල් විධිමත් පරීක්‍ෂණයක් සිදු කළ යුතුය. දැන් එය සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි. අහිංසක පවුලක්ම පණපිටින් වැළලී ගොස් තිබේ. ඒ මිනිසුන්ට යළිත් පණ දිය නොහැක. අපරීක්‍ෂාකාරී ලෙස ගොඩනැගිලි ඉදිකර මිනිසුන් මරා දැමීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.

පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ එහි ඉදිකිරීම්වල ඇති දුර්වලතා හේතුවෙන් යැයි ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. එහි ඉදිකිරීම් නිසි ගවේෂණයකින් තොරව සිදුකර ඇති බව ද සඳහන්ය.

අප පුවත්පත මහනුවර පොලීසියේ උසස් නිලධාරියකු උපුටා දක්වමින් පළ කළ වාර්තාවක සඳහන් වූයේ මෙම ගොඩනැගිල්ල ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ අනුමැතිය යටතේ නිසි ප්‍රමිතියකට අනුව ඉදිකර ඇති ද භූ විද්‍යා පතල් කාර්යාංශය මෙම භූමිය පරීක්‍ෂා කර එම ස්ථානයේ තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවසර දුන්නේ ද නගර සභාවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පනවා තිබූ කොන්දේසි මොනවා ද මෙම භූමිය පරීක්‍ෂා කර තට්ටු කීයක් එම භූමියේ ඉදිකිරීමට අවසර දුන්නේ ද යන්න සොයා බලා වාර්තා කැඳවා ඇති බවය.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුවන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල නිසි අවසරයකින්, නිසි ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියකට යටත්ව ඉදිකළ බවය. ප්‍රශ්නය වන්නේ එසේ නම් මෙම ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද යන්නය. අනවසර ඉදිකිරීම් මෙන්ම අනුමත කරගත් සැලැස්මට එපිටින් ගොස් ඉදිකිරීම් සිදු කිරීම ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ඇතැම් නිලධාරීන් නිසි විමර්ශනයකින් තොරව ඉදිකිරීම් සඳහා අවසර ලබාදෙන බව ද රහසක් නොවේ. මේ සියල්ල සඳහා අතයට මුදල් හුවමාරු වන බව ද රහසක් නොවේ. මුදල්වලින් සියල්ල කළ හැකි බවට විශ්වාසයක් ඇති නිසා ඇතැමෙක් බියකින් තොරව එබඳු අනීතික ක්‍රියාවලට යොමු වෙති. එහෙත් ඒවා කෙළවර වන්නේ වටිනා මිනිස් ජීවිත අහිමි කරමින් මහා ඛේදවාචක නිර්මාණය කරමින්ය.

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් හෝටල් ගොඩනැගිල්ල කඩා වැටීමේ ඛේදවාචකය එයට හිමි ගැඹුරින්ම වටහා ගත යුතු වන්නේ ඉහත පරිසරයට යටත්වය. සල්ලිකාරයන් හා දූෂිත නිලධාරීන් එක්ව සිදුකරන සමූහ මිනිස් ඝාතන නතර කර දැමීය යුතුය. පස් මහල් ගොඩනැගිල්ලට අදාළ සැලසුම් සම්මත කිරීමේ දී ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර එම ස්ථානයට ගැළපෙන පරිදි ගොඩනැගිල්ල ඉදිකිරීමට උපදෙස් දුන්නේ ද යන්න සොයා බැලිය යුතුය. එසේ උපදෙස් දී තිබිය දී එම උපදෙස් නොතකා කටයුතු කර තිබේ ද යන්න සොයා බැලීය යුතුය. අනීතික යමක් කිනම් පාර්ශ්වයකින් හෝ සිදුවී තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. මුදල් බලයෙන් සියල්ල කළ හැකි යැයි හෝ සියල්ල යටපත් කළ හැකි යැයි යමකු සිතන්නේ නම් එය ඓතිහාසික මුළාවක් බව ඔප්පු කර පෙන්වීමට සුදුසුම පැය එළැඹ තිබේ.

අප කියන කාරණා මහනුවර බූවැලිකඩට පමණක් සීමා නොවේ. ශ්‍රී ලංකාවේ ගම්වල, විශේෂයෙන්ම ප්‍රධාන නගරවල අනවසර එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඉදිවූ ගොඩනැගිලි ඕනෑතරම් ඇත. හරිහැටි ගවේෂණයක් කළහොත් එවැනි ඉදිකිරීම් දහස් ගණනක් සොයාගත හැකිවනු ඇත. එබැවින් දැන් ආණ්ඩුවත් මහ නගර සභාත්, පළාත් පාලන ආයතනත් නාගරික සංවර්ධන අධිකාරියත් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව අපේ අදහසය. ඡන්දය හා දේශපාලන වාසි වෙනුවෙන් අසරණ මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙස දේශපාලකයන්ගෙන්ද අපි ඉල්ලා සිටිමු.

(***)



අදහස් (6)

ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි හැදූ සහ හදන අයට දඬුවම් නැද්ද?

kamal Wednesday, 23 September 2020 06:27 AM

ඔන්න ඔහේ කොහේහරි යන බාර් කෙනෙක් අල්ලලා හිරේ දාන්න. ලොකු අය එක්ක හැප්පෙන්න යන්නේ නැතිව.

:       1       6

Ajith Wednesday, 23 September 2020 06:31 AM

අවසානයේදී ,සිමෙන්ති සහ ගඩොල් වරදකරු විය.

:       0       8

sachith Wednesday, 23 September 2020 07:05 AM

වෙන්නේ මොකක්ද කියලා පේනවා රූපවාහිනිය බලපුවාම, කිසිම බයක් නැතිව ටීවී එකේ වොයිස්කට් දෙන්නේ ගෙදර අයිතිකාරයා. අපේ එහෙම ඉඩමේ ගහක අත්තක් වැටිලා ගෙදරක වහලේ උළු කැටයක් කැඩුණත් පොලිසියෙන්, ග්‍රාමසේවක ඇවිත් කුදලාගෙන ගිහින්..

:       0       11

පූජා Wednesday, 23 September 2020 10:29 AM

කෝටි ගණන් වටිනා, වැලි මාලිගාවල වෙසෙන හිස් මිනිසුන්.. තමන්ට මොනවද වෙන්නේ කියා හිතාගන්නවත් බැරි නිමේෂයක පණපිටින් වැළලී, ජීවිතයෙන් වන්දි ගෙවූ මේ අහිංසකයන්ගේ ජීවිත, මොනවා ලීවත්, මොනවා කරත් ආපසු එන්නේ නැත. නැවතත් මෙවැනි දේවල් අසන්නට, දකින්නට නොලැබෙයි කියා කාට කිව හැකිද? මොකද අපේ රට ලෝකයෙන්ම උතුම්ම රට වන බැවින්.

:       4       90

saman Wednesday, 23 September 2020 11:56 AM

මේ සිද්ධිය "නිලමේස් කේස්" එකක් නිසා බොහෝවිට කිසි කෙනෙකුට දඬුවම් නොලැබිය හැකිය...

:       0       8

Perera Thursday, 24 September 2020 07:11 PM

දේශපාලන හයියක් තියෙනවානම් ලංකාවේ මොන වරද කලත් ඒ අයගේ මයිල් ගහකටවත් දඬුවම් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site