IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නිරෝධායන නීතියට තනි අර්ථ නිරූපණයක් ඕනෑ

නිරෝධායන පනත වෙනස් කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයට විවිධ පාර්ශ්වවලින් යෝජනා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම පුවත සනාථ කළ අතර, ඔහු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අමාත්‍යාංශයට ලැබී ඇති යෝජනා පුළුල්ව අධ්‍යයනය කරන බවය.

නීතියක මූලික පදනම වන්නේ එය ජන ජීවිතයට බාධාවක් නොවී සහනයක් හා පහසුවක් වීමය. කවර හෝ පාර්ශ්වයකට නීතිය තවත් පාර්ශ්වයක් පීඩාවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතුය. නීතියේ ආධිපත්‍යය නිවැරැදිව සමාජගත වන්නේ එමගිනි. නිරෝධායන නීතියට ද එය එසේම අදාළය.

නිරෝධායන නීතිය සම්බන්ධයෙන් දැඩි සමාජ අවධානයක් යොමු වූයේ විරෝධතාවකට එක් වූ පිරිසකට අධිකරණයෙන් ඇප හිමි වූවාට පසුව පොලිසිය ඔවුන් නිරෝධායනයට යොමු කිරීමත් සමගය. ඇතැමකුගේ විග්‍රහයට අනුව එය නීති විරෝධීය. නිරෝධායන පනත ඉක්මවා යෑමකි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් විනා දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිත කිරීම නොකළ යුතු බවය. ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීම ද බලහත්කාරී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත්, එය ඇප මත නිදහස් කළ අධිකරණයට ද කරන අපහාසයක් බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබිණි.

කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ අප කිසිවකුට පෙර ගත කළ ජීවිත ගත කිරීමට අවසර නැත. උද්ඝෝෂණ ව්‍යාපාරවලට ද එය එසේම අදාළය. සංචරණ සීමා රකිමින් උද්ඝෝෂණ කරන බව සඳහන් කළ ද එහි ප්‍රායෝගික බවක් නැත. මෙම උද්ඝෝෂණ සඳහා පිරිස් විශාල වශයෙන් රංචු ගැසීම කොරෝනා පොකුරු බිහි වීමට හේතුවක් බැවින් උද්ඝෝෂණ තහනම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. නිරෝධායන නීති හා උද්ඝෝෂණ අතර සම්බන්ධයක් ගොඩනැගුණේ ඒ අනුවය. මංගල්‍ය උත්සව, අවමඟුල් සහ බණ භාවනා, ආගමික කටයුතු සඳහා සෞඛ්‍ය නීති ඇත්නම් එය සෙසු කාර්යයන්ට ද අදාළ විය යුතුය.

රටේ තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. රටෙහි යම් ලිහිල් බවක් පෙන්නුම් කළ ද අනතුර මුළුමනින්ම පහව ගොස් නැති බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. අපගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මුළුමනින්ම බිඳ වැටී තිබේ. උසස් පෙළ විභාගයට මෙන්ම ශිෂ්‍යත්ව විභාගයට තවම දින නියම කර නැත. එම දින කවදා උදා වේ දැයි යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. මෙම තත්ත්වය ඉක්නින්ම තුරන් කරගත යුතුය. ඒ වෙනුවෙන් සෑම පුරවැසියකුම කැප කිරීමක් කළ යුතුය. සියල්ලටම වඩා රට වැදගත්ය. සටන් කළ හැකි වන්නේත් ඒවා ජයග්‍රහණය කරා රැගෙන යා හැකි වන්නේත් රට ඉතිරිව තිබුණහොත් පමණක්ය.

මෙම තත්ත්වය බලධාරීන් තමන්ගේ වාසියට නොගත යුතුය. නීතිය ජනතාව පෙළීමට යොදා නොගත යුතුය. ජනතාව සටන් බිමට නොකැඳවා ඔවුන්ගේ හඬට සංවේදීව සවන් දිය යුතුය. නීතිය යනු පාලක පන්තියේ මෙවළමකැයි මාක්ස්වාදයේ ඉගැන්වේ. මෙම කියමන් තවදුරටත් ජීවමාන යථාර්ථයක් ලෙස ජනතාවට පෙනෙන ලෙස පාලකයන් කටයුතු කළ යුතුය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වන්නේ 1897 වසරේදී සකස් කෙරුණු පැරැණි නිරෝධායන පනතක් බවය. එමෙන්ම අවශ්‍යතා පරිදි එම පනතට අදාළව විවිධ රෙගුලාසි වරින් වර හඳුන්වා දී ඇතැයි ද මූලික පනත වෙනස් කරන්නේ නම් එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූලව කළ යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දී තිබිණි.

සියවසකට වඩා පැරැණි නීති පද්ධතියක් සමග 21 වැනි සියවසේ අපි ජීවත් වෙමින් සිටිමු. මෙම පනත් යාවත්කාලීන නොවීමට බලපෑ එක් හේතුවක් වන්නට ඇත්තේ, කොරෝනා වැනි මාරාන්තික වයිරසයක් මුළු ලෝකයම මේ ආකාරයට අත්අඩංගුවට ගනු ඇතැයි නොසිතූ නිසා විය හැකිය. කොරෝනා මාරාන්තික වයිරසය මානව සමාජයට ඉගැන්වූ බරපතළ පාඩමක් තිබේ. එනම්, ඉදිරියේදී ද බොහෝ අනපේක්ෂිත සිදුවීම් විය හැකි බවය. අවදානමට වඩා සූදානම ඉතා වැදගත් යැයි කීවා සේ අප දැන් සිටම අනාගත උවදුරුවලට මුහුණ දීමේ ශක්තිය ගබඩා කරගත යුතුය.

(***)



අදහස් (0)

නිරෝධායන නීතියට තනි අර්ථ නිරූපණයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28742 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18206 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11186 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 687 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site