ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජනතාවගේ යහපත් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට නම් ආදර්ශවත් වියත්, බුද්ධිමත් රටට හා ජනතාවට අවංක දක්ෂ සුපිළිපන් පුද්ගලයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්විය යුතු යැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජනතාවද ඒ සඳහා සිය අභිමතය ප්‍රකාශ කර ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ඉකුත් අගෝස්තු 5 වැනිදා මෙරට සාතිශය බහුතරයක් ජනයා සිය ඡන්දය ප්‍රකාශ කළේ කවර අරමුණකින්දැයි නව පාලකයන් ඉතාම ගැඹුරින් වටහාගත යුතුය. එම ඡන්ද ප්‍රතිඵලය තුළ අන්තර්ගතව ඇත්තේ ඉතිහාසයේ සියලු වැරැදි අකාමකා දැමූ අලුත් රටකි. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි අලුත් ලංකාවකි. ‘පාර්ලිමේන්තුවේ 225 ටම බෝම්බ ගැසිය යුතුයැයි මතයක් නිර්මාණය වී තිබූ සමාජයෙන්ම තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් බිහිවූයේ අලුත් ගමනක් තුළින් බලවත් ජයග්‍රහණ රටට ලබාගැනීමේ පවිත්‍ර අරමුණෙන්ය.
මෙරට දේශපාලනය බඩ රස්සාවක් බවට පත්වී ඇතැයි යන්න මුසාවක් නොවේ. මන්ත්‍රී ධුරය ද ඇමැති ධුරයද ඇතැමුන්ට සියලුම ආකාරයේ මංපැහැරීම්, කොල්ලකෑම් සඳහා බලපත්‍රයක් පමණි. මැති ඇමති වරප්‍රසාද ඇතැම්විට කිසිදු මිනිසකුට ජීවිතයේ එක් වතාවක් හෝ අත්විඳීමට නොලැබෙන ‘දිව්‍යමය සැපතකි’. ඒ සැපට ලොබ බැඳ වැඩකිරීම නිසා හැත්තෑ දෙවසරක් පුරා රට ගමන් කළේ ආපස්සටය. ජනතාවගේ ඉල්ලීම යළි එබඳු වැරැදි නොකරන ලෙසය.
වැරැදි නොකරන ආණ්ඩුවක් සඳහා වැරැදි නොකරන මිනිසුන් අතට වගකීම් පැවරිය යුතුය. යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එක් සුළු ජාතික පක්ෂයකට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වසරකට එක් මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරනු ලැබීය. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන තීරුබදු රහිත අති සුඛෝපභෝගී වාහනයක් ලබාගැනීමට ඇති වරප්‍රසාදය බවද කියැවිණි. එක් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කර රුපියල් ලක්ෂ 300 ක් ලබා එම පක්ෂයේම තවත් පුද්ගලයකුට එම අවස්ථාව ලබාදී යාම තුළ ජනතාවගේ පරමාධිපත්‍ය සමග මහ දවාලේ කළ මහ හොරකමකි. යහපාලන රජය කාලයේදීම දින දෙකකට මන්ත්‍රීවරයකු බවට පත්වූ පුද්ගලයා කළ එකම දෙය තීරුබදු රහිත අතිසුඛෝපභෝගී වාහනය ලබාගැනීම පමණි.
ව්‍යවස්ථාවේ වගන්තිවලට මුවා වී සිදුකරන මහ හොරකම් නතර විය යුතුය. මහජනයාගේ රුපියලට ශතයට වගවන ගරු කටයුතු මහජන නියෝජිතයන් නිර්මාණය විය යුතුය. මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු දෙනා සර්ව සුන්දර මිනිස්සු නොවෙති. මහ මැතිවරණයෙන් තේරී පත්වූවෝ සියලු දෙනාද නිවැරැදි මිනිස්සු නොවෙති. විවිධ චෝදනා ඇති ඒ වෙනුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූවෝද ජයග්‍රාහකයෝ අතර සිටිති. චෝදනා එල්ල වූ පමණින් හෝ යමකු රිමාන්ඩ් බන්ධනාගාරගත වූ පමණින් ඔවුහු වැරැදිකරුවෝ නොවෙති. එහෙත් චෝදනාවලට ලක්වීමට බලපෑ හේතුද සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පුද්ගලයන් ඇමති මණ්ඩලයට පත් කළ යුතු බවය. දේශපාලනයේදී තීන්දු තීරණ ගැනීමේදී විවිධ සුදුසුකම් සලකා බැලෙන අතර ඇතැම් සුදුසුකම් වන්නේ ‘අවසන් වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම’ පක්ෂයක නායකයකු වීම, පක්ෂය වෙනුවෙන් කැපවීම වැනි කාරණාද වෙයි. එම කාරණා ඉහළට එනවිට එම වගකීම දැරීමේ හැකියාව ඔහු සතුව වේද යන්න නොවටිනා කාරණයක් බවට පත්වේ. වසර හැත්තෑ දෙකක් පුරා මෙරට ජනයා අත්විඳි මෙවන් නරුම අත්දැකීම් වෙනස් වන්නේ නම් ජනයා ඉල්ලන අලුත් රට නිර්මාණය කිරීම පහසුය.
මෙරට ජනයා බොහෝ වෙනස් වී තිබේ. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු දේශපාලනයෙන් ඔවුහු බැහැරවී සිටිති. ඒ වෙනුවට අරාජිකත්වයෙන් තොර සවිමත් රටක් වෙනුවෙන් ඔවුහු ඡන්දය භාවිත කළහ. ඒ ජනයාගේ දිදුලන අපේක්ෂාවන් මුදුන් පැමිණවීමට ලැබුණු ඇතැම්විට අවසන් මෙන්ම මහඟු අවස්ථාව අපතේ නොහරිනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවය.
COMMENTS
දේශපාලන ස්වරූපය දකින්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවට බැනලා මොකටද? සෞභාග්‍යෙය් දැක්මක් කොහොමද තියෙන්නේ උසාවිවලින් කට්ටි පැනලා..බලය අවභාවිතා කරලා ආපු කෙනෙක්ට?
කාටද ආප්ප එහෙනම් දෙන්නේ...
මෙවර මැතිවරණයේදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ජනපතිතුමන් සිදුකළ විශිෂ්ට සේවය නිසා බව පෙනේ. කුඩු ඇල්ලීම පාතාල මර්ධනය ආදී දේ මේ මහජන මතය සීඝ්රයෙන් ඉහළ දැමීමට හේතු වුණා. මේ මැතිවරණයේදී ජයග්‍රහණයට ප්‍රධාන සාධකය වුනේ ජනපති සාර්ථක ලෙස කොරෝනා මර්ධනය කිරීම නිසාත් බව නොදන්නා කෙනෙක් නැහැ. ඒ නිසා අනෙකුත් අපේක්ෂකයන් මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ප්‍රමාණයට වඩා ආඩම්බර නොවිය යුතු දෙයක්. එමෙන්ම, ජනපතිතුමා කිරීම කෙරෙහි තැබූ විශ්වාසය පළුදු නොවන ආකාරයට ඇමතිවරු පත්කිරීමේදී එතුමා ජනතාවගේ පැත්තෙන් බලා තීරණ ගැනීම අගනේය.
2/3 බලයක් ජනතාවට දුන්නා... එහෙම හිතාගමුකෝ... හැබැයි ඉතින් කතුවැකියේ මාතෘකාව හැටියටම කරයි. බලාගෙන ඉන්නකෝ...
ඕක කරන්න පුළුවන් වැඩක් නොවේ. ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතනයට සම්බන්ධයි කියා රිමාන්ඩ් භාරයේ ඉන්න කෙනෙකුටත් ඇමැතිකමක් දෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔහොම හිතලා වැඩකළොත් පාර්ලිමේන්තුවට කාටවත් යන්න වෙන්නේ නැහැ.
එහෙනම් ඇමැති මණ්ඩලේ පත්කරන්නම බැරිවෙනවා. ඒ තරමටම ඔය හැම කෙනෙක්ම දූෂිතයි.
එහෙමනම් මේ තනතුරුවලට මනුස්සයින් පිටරටවල් වලින් ගෙන්වන්න සිද්ද වෙයි නේද?
බීරන්ට වීණා වාදනය කිරීමෙන් වැඩක් නැති බව අපි තේරුම් න්නේ කවදාද?
ඔබ වහන්සේලාගේ ඉල්ලීම ඉතාම කාලෝචිතයි. රටට අත්‍යාවශ්‍යම ඉතාමත් ප්‍රයෝජනවත් ඉල්ලීමක්. ඒක තමයි බහුතරයකගේ අභිලාෂය. හැබැයි ඒක නොවුණොත් ත්‍රෛනිකායේ ඔබ වහන්සේලා 3 දෙනා කැමතිද, ඉල්ලීම ඉටු නොවෙනවා නම් "සිවුරු හෑරලා" හරි විරෝධය ප්‍රකාශ කරන්න.
එහෙම නම් රට කරන්න වෙන්නේ ඇමැති මණ්ඩලයක් නැතිවයි.
මගේ අදහසේ හැටියට මහජනතාවගේ බුද්ධිමත් ඡන්දයෙන් පත් වුණු කිසිවෙක් දූෂිතයින් නොවෙයි. මේ රටේ ඉහළම පුටුවේ සිට පහළම මන්ත්‍රී දක්වාම හැම දෙනාගේම සුළු සුළු අඩුපාඩුකම් තියෙන්න ඇති. එ්ත්, ඔවුන් මහජන නියෝජිතයින් ලෙස මේ රටේ සංවර්ධනයට බොහෝ සෙයින් දායක වී තිබෙනවා. මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කැපවී තිබෙනවා. මඩ ප්‍රචාර හමුවේ මහජනතාව, සමහර මහජන නියෝජිතයින් ගැන වැරදි තීරණ එළඹ තිබුණත්, අප රටේ විශිෂ්ඨ මාධ්‍යවාර්තාකරණය මේ රටේ ජනතාව, වෙනත් දුරදර්ශී දිශාවකට මග පෙන්වා තිබෙනවා. එවන් වාතාවරණයක් තුළ ජනතාව මේ ලබා ගැන තුනෙන් දෙකේ ජනවරමට කිසිම දූෂිතයෙකුට ඡන්දය ලබාදී නොමැති බව අවධාරණය කල යුතුයි. මොනවා නැතත්, අපට ජීවත් වීමට රටක් අවශ්‍ය බව මේ රටේ බුද්ධිමත් ජනතාව වටහාගෙන තිබෙනවා.
ලක්ෂ ගණන් වියදම් කරගෙන පාර්ලිමේන්තු ආවේ මොකටද? අඩුම ගානේ වියදම් කළ මුදල පොලී සමග සොයාගන්න වෙනවා.