IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


දේශපාලන හයියට නීතිය යට කරනු එපා

අලුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු පසුගිය දින කිහිපය තුළදී සිය රාජකාරි මහත් උද්යෝගයකින් ඇරැඹූහ. නෑදෑ හිතවතුන් සහ සෙසු සහෝදර මැති ඇමැතිවරුන් පිරිවරාගෙන සෙත් පිරිත් සජ්ඣායනා මැද සමහරුන් වැඩ ඇරැඹූ අතර තවත් කිහිපදෙනකු ඒ සඳහා වෙනත් ස්ථාන තෝරාගෙන තිබිණි. මේ අතරේ අමුතුම ක්‍රමයකට වැඩ ඇල්ලූ දේශපාලන බලවතකු පිළිබඳව වාර්තා වී තිබුණේ රජරට පළාතෙනි.

අදාළ ප්‍රවෘත්තිය අපගේ ලංකාදීප පුවත්පත ඊයේ (17) වාර්තා කර තිබුණේ ‘අලුත් ආණ්ඩුවේ බලවතකුගේ හයියට දුම්රියේ ඉඩමක් ඩෝසර් කර ගෙවල් 18ක් හදලා’ යන සිරස්තලයෙනි. තඹුත්තේගම දුම්රිය ස්ථානය අසල දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් ඉකුත් සිකුරාදා (14) රාත්‍රියේ ඩෝසර් කර තාවකාලික නිවාස 18ක් ඉදිකර තිබූ බව එම ප්‍රවෘත්තිය මගින් හෙළිකර තිබිණි. අනවසරයෙන් සිදුකර තිබූ මේ නිවාස පොලිසියේ ආරක්ෂාව ඇතිව දුම්රියේ ආරක්ෂක අංශය මගින් ඊට පසු දිනම පෙරවරුවේ ඉවත් කිරීමට ගත් පියවර නිසා විශාල විනාශයක් වැළැකී තිබේ. මේ නීති විරෝධී බලහත්කාරී ක්‍රියාව සඳහා ඉදිරිපත් ව සිටි තඹුත්තේගම ප්‍රදේශවාසී පිරිස පසුපස දේශපාලන බලවතකුගේ අනුදැනුම තිබීම බරපතළම කාරණාවයි.

සිද්ධියට සම්බන්ධ පිරිස නව ආණ්ඩුව බලයට පත්කිරීමට දර දිය ඇද්ද පිරිසක් බව සඳහන්ය. දුම්රිය ඉඩම ඩෝසර් කිරීමට මේ කියන දේශපාලන බලවතාගේ අනුදැනුම සහ අනුග්‍රහය ලැබෙන්න ඇත්තේ එම හේතුවෙනි. එහෙත් ආණ්ඩුවක් බලයට පත්කිරීමට කටයුතු කිරීම නීති විරෝධී බලහත්කාරී ක්‍රියා සිදුකිරීමට ලබාදෙන බලපත්‍රයක් නොවේ. වත්මන් රජයට අතිවිශාල ජනවරමක් ලබාදීමට දැඩි උනන්දුවකින් කටයුතු කළ සියලුම දෙනා මේ ආකාරයට තමන් වැඩ කළ බලවතුන්ගේ හයිය තම අතට ගෙන ක්‍රියා කළොත් සිදුවිය හැකි විනාශය කොතරම් විය හැකි ද? එවිට රටේ නීතියට කුමක් සිදුවනු ඇති ද?

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළට මෙවැනි නීති විරෝධී ක්‍රියා ඉඳුරාම පටහැනිය. එහි අරමුණුවලට මෙවැනි ක්‍රියා පරස්පර විරෝධීය. තම ගෝලබාලයන්ට ඕනෑම නීති විරෝධී කටයුත්තක් කරගැනීමට ඉඩ දීම මැතිවරණ ජයග්‍රහණය විසින් ලබාදෙන ලද වරප්‍රසාදයක් සේ සලකන බලවතුන් වහාම තමන් කරන වැරැද්දේ බරපතළකම අවබෝධ කරගැනීම අවශ්‍යය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු වශයෙන් තමන්ට අයිති වන සැබෑ වරප්‍රසාදවල ගරුත්වය මෙවැනි නීති විරෝධී කෂඩ වැඩ හේතුවෙන් සේදී යන බව ඔවුන් තේරුම් ගත යුතුය.

රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් තම හෙංචයියන් පදිංචි කරවීම ඇතැම් මැති ඇමැතිවරුන්ට අත්හැරගත නොහැකි කැත පුරුද්දකි. තම පළාතේ ඉඩම් අහිමි ජනතාවට ඉඩම් ලබාදිය යුතු නම් ඒ සඳහා භාවිත කළ හැකි ක්‍රමවේද තිබේ. රජය මගින් අනුමත කෙරෙන පිළිගත් ප්‍රතිපත්තියකට අනුකූලව ඉඩම් බෙදා දීම එවැනි එක් ක්‍රමවේදයකි. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේදී සැබෑවටම එක් ඉඩම් කැබැල්ලක හෝ අයිතියක් නැති පවුල් හඳුනා ගැනීම වැදගත්ය. එහෙත් තඹුත්තේගම සිදු වූ ආකාරයේ නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කරන්නේ ඉඩම් අහිමි පුද්ගලයන් නොව දේශපාලන බලවතාගේ හෝ බලවතුන්ගේ හෝ හෙංචයියන් වන ඉඩකඩම් තිබෙන මිනිසුන් බව අතීත අත්දැකීම්වලින් හෙළිකර තිබේ. දුම්රිය ස්ථානයක් අසල ඉඩම්වල වටිනාකම දන්නේ එවැනි පුද්ගලයන් මිස අහිංසක දිළිඳු ජනතාව නොවේ.

අලුත් ආණ්ඩුව වැඩ ආරම්භ කරන දින කිහිපය තුළදී මේ ආකාරයට දිගටම වැඩ කටයුතු සිදුවුවහොත් එහි අයහපත් ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ සමස්ත රජයටමය. මෙවැනි ක්‍රියා වැළැක්වීමට මුලදීම දැඩි පියවර ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි. රටේ ජනතාවගේ විමසුම් ඇසට මෙවැනි ක්‍රියා ලක්වීම වැළැක්විය නොහැක. හෙළිවන බව දැන දැනම මේ බලහත්කාරී ක්‍රියා සිදුකිරීම පසුපස ඇත්තේ පළාතේ බලවතාගේ දේශපාලන හයිය තම අතට ගැනීම හැර වෙන යමක් නොවේ. දේශාපලන හයිය භාවිත කර ආරම්භයේදීම රජයේ ඉඩම් අල්ලාගෙන නිවාස ඉදිකරගැනීමට කටයුතු කරන පිරිස්වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එපමණක් නොව මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට උඩ ගෙඩි දෙන දේශපාලනඥයන්ගේ වතගොත හෙළි කිරීම ද අවශ්‍යය. එසේ නොවුණොත් දුම්රිය ස්ථාන තමන්ගේ නිවහන් බවට පත්කරගන්නා හෙංචයියන් ද අනාගතයේදී බිහිවීමට ඉඩ තිබේ.



අදහස් (2)

දේශපාලන හයියට නීතිය යට කරනු එපා

rana Tuesday, 18 August 2020 05:52 AM

ඊයේ සිංහරාජය අද ... එතකොට හෙට? මේවා තවම එළිවන කුඩා දේවල්.. හොඳම ඉඩම් විකිණීම, කොල්ලකෑම ඉදිරියේදී බලාගත හැකියි.

:       0       43

sena Tuesday, 18 August 2020 05:59 AM

මෙයාලා නීතිය අතට නොගත්තොත් පුදදුමෙනුත් පුදුමයි.

:       16       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site